කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ” රන් මාවත ” ( Gold Route) නමින් නව සේවා පර්යන්තයක් , වරාය , නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතින් ඊයේ (18) දින පස්වරු 01.30 ට විවෘත වී තිබෙනවා.
ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපළ රාජකාරී සිදු කර ගැනීම සඳහා පෝලිම් වල නොසිට, මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන , රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් මෙහිදී ඉටු කර ගත හැකි වනු ඇත.
මෙයට සමාන ප්‍රභූ පර්යන්තයක් කටුනායක ගුවන් තොටුපළ තුළ ඇති අතර මෙම සේවාවන් නොමිලේ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන් වෙත හිමි වී තිබේ.
මීට අමතරව කටුනායක ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා මෙම පහසුකම් ලබා ගත හැකි ” සේද මාවත “( Silk Route) නමින් තවත් පර්යන්තයක් පවතින අතර ඒ සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 50ක මුදලක් ගුවන් තොටුපළ විසින් අය කර ගනු ලැබේ .
මෙම නව පර්යන්තය සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 200 ක මුදලක් අය කර ගනු ලබන අතර www.airport.lk වෙබ් අඩවියට පිවිස එම මුදල ගෙවා මෙම පහසුකම් වෙන්කරවා ගත හැකිය.

ටී.කේ.ජී.කපිල- කටුනායක