ලොව ප්රමුඛ පෙළේ ටැල්කම් ළදරු පුයර (බේබි පවුඩර්) නිෂ්පාදකයෙකු වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම Johnson & Johnson (J&J) ලබන වසරේදී ගෝලීය වශයෙන් එම පුයර නිපදවීම හා අලෙවිය නතර කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මෙතෙක් සිය සමාගම විසින් නිෂ්පාදනය කළ ටැල්කම් පුයර වෙනුවට ඉරිඟු පිටි යොදාගෙන නිපදවන නව ළදරු පුයර නිපදවා ලොව පුරා අලෙවි කිරීමට පියවර ගන්නා බව ජොන්සන් සමාගම පවසා තිබේ.
එය වාණිජමය තීරණයක් වන අතර ඒ බව පසුගිය බ්රහස්පතින්දා දින එම සමාගම විසින් නිවේදනය කර ඇත.

අදාළ සමාගම විසින් නිපදවා වෙළෙඳපළට නිකුත් කර ඇති ටැල්කම් වර්ගයේ පුයර වල පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු වීම නිසා ඒවා ආලේප කිරීමෙන් තමන්ට ඩිම්බකෝෂ පිළිකා වැළඳුනු බවට කාන්තාවන් දස දහස් ගණනක් සමාගමට එරෙහිව නඩු පවරා තිබීම හේතුවෙන් මීට වසර 02කට පෙර ඇමරිකා එක්සත් ජනපදය තුළ සිය ටැල්කම් පුයර අලෙවිය නතර කිරීමට ජොන්සන් සමාගම විසින් පියවර ගෙන තිබිණි.
කෙසේ වුවද ජොන්සන් සමාගම පවසනුයේ දශක කිහිපයක සිට සිදු කරන ලද ස්වාධීන පරීක්ෂණ වල දී සිය ටැල්කම් පුයර භාවිතයට සුදුසු බව හෙළි වී ඇති බවයි.
බ්රහස්පතින්දා, නිෂ්පාදිතය අත්හිටුවීම නිවේදනය කරන විටත් එම ප්රකාශය නැවත ඔවුන් අවධාරණය කර තිබේ.