ඔක්ලහෝමා ‘රෙඩ් ඩර්ට්’ සංගීතයේ නැගී එන තරුවක් ලෙස සැලකෙන ඇමෙරිකානු ගායක “ජේක් ෆ්ලින්ට්” සිය විවාහයෙන් පැය කිහිපයකට පසු මිය ගිය පුවතක් වාර්තා වනවා.
37 හැවිරිදි ඇමරිකානු ජාතික සංගීතඥ ජේක් ෆ්ලින්ට් ඔක්ලහෝමා හි දී නිදි ඇඳේ දී මිය ගිය බවයි ඔහුගේ හිටපු කළමනාකරු බ්‍රෙන්ඩා ක්ලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ.
“ජේක් ෆ්ලින්ට් ඛේදජනක ලෙස අභාවප්‍රාප්ත වූ බව බිඳුණු හදවතකින් සහ දැඩි ශෝකයකින් මම ප්‍රකාශ කළ යුතුයි” යනුවෙන් එහි සටහන් කර තිබුනා.
ෆ්ලින්ට් ගේ නව බිරිඳ මුහුණ දුන් මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් එම සටහනේ ඇය පවසා තිබුණේ “පැය කිහිපයකින් මනාලියක් සහ වැන්දඹුවක් වීම සිතාගත නොහැක.” යනුවෙන්.
පසුගිය ඉරිදා ජේක් ෆ්ලින්ට් Tulsa හි පැවති උත්සවයක විවාහ වූයේ බ්‍රෙන්ඩා විල්සන් සමගයි.
ඔක්ලහෝමා දේශීය සංගීතයේ උප ප්‍රභේදයක් වන “රෙඩ් ඩර්ට්” හි නැගී එන තරුවක් ලෙස සැලකෙන ජේක් ෆ්ලින්ට් ගේ මරණයෙන් පසු ඔහුට උපහාර ගලා ඒමට පටන් ගෙන තිබෙනවා.
ෆ්ලින්ට්ගේ නව බිරිඳ වන බ්‍රෙන්ඩා විල්සන් ෆ්ලින්ට් ඔවුන් දෙදෙනාගේ විවාහ දිනයේ ගසක් යට නටන වීඩියෝවක් පළ කර කරමින් “අපි මංගල ඡායාරූප රූගත කිරීමක් සිදු කිරීමට සැලසුම් කර තිබුණේ නමුත් දැන් මට ඒ වෙනුවට සිදු කළ යුතුව ඇත්තේ මාගේ සැමියා භූමිදානය කිරීමට ඇඳුම් තේරීමටයි” යනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියා.
ෆ්ලින්ට් ගේ දිගුකාලීන ප්‍රවර්ධකයෙකු වූ ක්ලිෆ් ඩොයල් මෙම මරණය සම්බන්දයෙන් ඔක්ලහෝමන් පුවත්පතට තහවුරු කරමින් කියා සිටියේ ෆ්ලින්ට් නින්දේදී මිය ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් තවමත් මේ ගායකයාගෙ මරණයට හේතුව නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.