උණුසුම් පුවත්
Search
dr nandalal

”ආර්ථිකය කඩා වැටෙනකම් දන්නේ නැතුව හිටියා කියන එක අනුමත කරන්න බෑ” – ආචාර්ය නන්දලාල් වීරසිංහ

386

වසර 02ක් යන තුරුම රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බවත් රටේ ආර්ථිකය බිඳවැටෙන තුරුම තමන් දැනුවත් නොවූ බවත් පැවසීම හා දේශපාලන අධිකාරියේ තීරණ මත පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යයි පැවසීම අනුමත කළ නොහැකි බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවැසීය.

රජයේ වගකිවයුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළකිය යුතු බවත් දේශපාලනඥයකු සහ නිලධාරියකු අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනාගත යුතු බවත් දේශපාලනඥයන් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හිදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන බවත් එවන් තීරණ වලට ලැබෙන ප්‍රතිඵල සඳහා දේශපාලනඥයන් පමණක් වග නොකිය යුතු බවත් ඔහු කීය.

2019 වසර අවසානයේ නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමි වූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවත් ඒ සඳහා වාහන ආනයනය නතර කිරීම ඇතුළුව පනවනු ලැබූ ආනයන සීමා හේතුවෙන් ඇතිවූ පාඩුව සහ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික සංකෝචනය ඇතුළු හේතූන් බලපෑ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභවේදීය.

2019 වර්ෂයේ දෙසැම්බර් 04 වැනි දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ පළමු කැබිනට් පත්‍රිකාවට අනුව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙලෙස තීරණ ගනු ලැබූ බව ද ආටිගල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, මහ භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද හිටපු මුදල් මණ්ඩල සාමාජිකයන්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් මෙම රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගිව සිටියහ.

කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී ඒ අදාළ විෂයය සම්බන්ධයෙන් ඊට සමගාමීව පසුබිම් සටහනක් සහ වාර්තාවක් තිබිය යුතු බවත් එහි සම්පූර්ණ වගකීම ඇත්තේ එම විෂයය සම්බන්ධ නිලධාරීන්ට බවත් මුදල් කාරක සභා සාමාජිකයන්ගේ අදහස වූ අතර යම් යම් නොවැළැක්විය හැකි තත්ත්වයන් තිබුණු බව පිළිගත හැකි වුව ද මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිසි අධ්‍යයනයකින් පසුව මෙවන් තීරණ ගත යුතුව තිබූ බව ද ඔවූහු පැවසූහ.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කමිටු සාමාජිකයන් තවදුරටත් විමසා සිටියේ කොවිඩ් තත්ත්වය මතුවීමට ප්‍රථම, එවකට දේශපාලන බල අධිකාරිය විසින් ගනු ලැබූ මූල්‍යමය ප්‍රතිපත්ති, තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී මතුවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ මුදල් මණ්ඩලයේ පැහැදිලි නිගමන ඇතුළත් වාර්තාවක් ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් වශයෙන් කිසිවකු හෝ ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසා සිටියේ මෙවන් තීරණ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලබන බවත්, ඉන්පසුව එය කාරක සභා වෙත ද යොමු කරනු ලබන බවත්ය.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් නැවතත් විමසා සිටියේ ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් වහයෙන් දේශපාලන අධිකාරිය ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ නිවැරදි නොවන අවස්ථාවකදී එවකට රජයේ වගකිවයුතු තනතුරු දැරූ නිලධාරීන් ලෙස එය නිසි අයුරින් සිය ඉහළ බලධරයන්ට පෙන්වා දීමට හා දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ ද යන්නයි.

අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විරුද්ධ පාර්ශ්වයේ නායක සජිත් ප්‍රේමදාස, නාලක ගොඩහේවා, එම්. ඒ. සුමන්තිරන්, මුජිබර් රහුමාන්, ආචාර්ය සුරේන් රාඝවන්, ගාමිණී වලේබොඩ, කංචන විජේසේකර, අනුප පැස්කුවල්, විජිත හේරත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඉන්දික අනුරුද්ධ හේරත්, ඉසුරු දොඩංගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *