ජනප්‍රිය කලා තරු දැන් දැන් කලා දිවියට මෙන්ම විවාහ දිවියටත් ප්‍රමුඛස්ථානයක් දීමට පටන් ගැන්ම සුබවාදී ලකුණකි. ඒ අතරින් මෑතකදී විවාහ ගිවිස ගත් මනීෂා චංචලා සහ අශේන් සිරිවර්ධන බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ ආදරණීය යුවළකි. වසර ගණනක් පුරා ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳෙමින් දෙරණ නාළිකාවේ විකාශය වුණු සිඳූ ටෙලි නිර්මාණයේ තෙරුණී ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මනීෂා මේ දිනවල චණ්ඩි කුමාරිහාමි ටෙලි නිර්මාණයේ මේරී ලෙසින් වෙනස්ම භූමිකාවකින් ඔබ හමුවට එන්නීය. සති අන්තයේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන අළුපාට දේදුනුහි අනුත්තරා ද ඇයයි. අහස් මාළිගා ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් අශේන් ද සටන් කලාව ප්‍රගුණ කළ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙකි. මනීෂා – අශේන් ආදර කතාව සතුටුදායක අන්දමින් ජයගත් ඔවුන් අද අප හා කතාබහට එක්වන්නේ ඔවුන්ගේ නවතම තොරතුරු ද සමඟිනි. මනීෂා පළමුව අප හා කතාබහට එක්වුණේ මේ දිනවල චණ්ඩි කුමාරිහාමි හා එක්වෙමින් ලබන වෙනස්ම අත්දැකීම ද අප හා බෙදාගනිමිනි.
කොහොමද මනීෂා මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?
ඔව්. ඇත්තටම මං ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. මම අශේන් එක්ක “The Nails Studio – Maneesha Dunukara” නමින් පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ නිසා මේ දවස්වල ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සහ ව්‍යාපාරයේ වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ…..
චණ්ඩි කුමාරිහාමි ඔබේ රංගන ජීවිතේ නව පෙරළියක් කළා නේද?
ඇත්තටම ඔව්. ඒ වෙනුවෙන් මුලින්ම ස්තූතිවන්ත වෙනවා එහි අධ්‍යක්ෂ චරිත් අබේසිංහ මහතාට. ඔහු තමයි චණ්ඩි කුමාරිහාමි ටෙලි නාට්‍යයේ “මේරි” කියන චරිතයට මට ආරාධනා කරන්නේ. ඒ වෙනකොටත් මම හරිම කැමැත්තෙන් හිටියේ period drama එකක් කරන්න. මේ ලැබුණු ආරාධනාව හරියට මගේ ඒ බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමක් වගේ.
ඒ වගේම ඒකෙ චරිත ස්වභාවය, චරිතය ගොඩනැෙඟන වටපිටාව, ඇඳුම් පැලඳුම් මේ සියලුම දේ මට අලුත් අත්දැකීමක් වුණා. මම හිතනවා මේරි කියන චරිතයට මම යම්කිසි සාධාරණයක් කරන්න ඇති කියලා. මට එහෙම හිතෙන්නේ හිතුවටත් වඩා සෑහෙන ප්‍රේක්ෂක ආදරයක් මේරි නිසා මට ලැබුණා. “තෙරුණි”ට පස්සෙ වැඩියෙන්ම ආදරේ ලැබුණේ “මේරි”ට කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ක්ෂේත්‍රයේ බොහෝම දැවැන්ත චරිත එක්ක තමයි මට රංගනයෙන් දායක වෙන්න ලැබුණේ. මනෝහාරි විමලතුංග අක්කා, සුදර්ශි ගැලනිගම අක්කා, මාධවී ඇන්තනී අක්කා, සංගීත් සතරසිංහ අයියා වගේම චණ්ඩි කුමාරිහාමි මුළු ටීම් එකටම මං ස්තූතිවන්ත වෙනවා මේරි චරිතය සාර්ථක කරගන්න උදවු කළාට. ඒ වගේම අළුපාට දේදුනු ටෙලි නිර්මාණයේ අනුත්තරා ගැනත් ගොඩක් දෙනා කතා කරනවා. අනුත්තරාටත් ගොඩාක් ආදරේ ලැබෙනවා.
ඔබ ජනප්‍රිය වුණේ සිඳූ ටෙලි නාට්‍යයේ තෙරුණි හරහා. කොහොමද ඒ ආරාධනාව ලැබෙන්නෙ?
සිඳු ටෙලි නාට්‍යයට කලින් මං රංගන අත්දැකීමක් ලබල තිබුණා. ඒ 2009 වර්ෂයේ දෙරණ නාළිකාවේම විකාශය වුණු “වස්සාන සිහිනය” ටෙලි නාට්‍යයේ. ඒක තමයි මගේ පළමුවැනි රංගන අත්දැකීම. ඒක ළමා චරිතයක්. ඒ ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩුගේ මහත්මයා තමයි මට “සිඳු” ටෙලි නාට්‍යයටත් ආරාධනා කරන්නේ…..
ඔබ කලාවට පිවිසෙන්නේ ළමාවියේදී. ඒ අතීතයත් මතක් කරමු?
2007 වර්ෂයේ මහනුවර කඳුරට ගුවන්විදුලියේ ළමා නිවේදිකාවක්, ළමා ගායිකාවක් විදිහට තමයි මං කලාවට පිවිසෙන්නේ. ඊට පස්සේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ඉදිරිපත් වෙලා 12න් පහළ ගායන අංශයේ 4 වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබුණා. ඒ හරහා මට දෙරණ නාළිකාවෙන්ම වස්සාන සිහිනය ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණා.
ගැහැනු ළමයිම තුන්දෙනෙක් ඉන්න පවුලක බඩ පිස්සි විදිහට ඔබ කලාවට එනවට ගෙදරින් කැමති වුණා ද?
පුංචි කාලේ ඉඳන්ම මම දක්ෂතා පෙන්නුවේ සින්දු කියන්න, නටන්න, රඟපාන්න වගේ දේවල්වලට. ඒ නිසා අම්මයි අප්පච්චියි දෙන්නම හරිම ආසාවෙන් කැමැත්තෙන් මම යන පැත්තට උදව් කළා. අක්කලා දෙන්නත් එයාලට පුළුවන් උපරිම විදිහට සහයෝගය දුන්නා.
නිවසේ පරිසරයත් එක්කම හැදුණු මනීෂා විවාහයට නළුවෙක් තෝරගනිද්දි ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?
ඒ වෙනකොට මම ක්ෂේත්‍රයේ යම් කාලයක් වැඩ කරලා තිබුණ නිසා රංගන ශිල්පියෙක් විවාහ කර ගන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපේ ගෙදර හැමෝම අශේන්ට හරිම ආදරෙයි. රංගන ශිල්පියා කියන භූමිකාවට එහා ගිහින් බැලුවොත් පෞද්ගලික ජීවිතේදී අශේන් කියන්නේ පවුලට හරිම අවංක, ආදරණීය පුතෙක් වගේම ආදරණීය සැමියෙක්.
කාලයක් විදෙස්ගත වීමේ අදහසක් තිබුණ නේද?
බලමුකො. ඒ ගැන තාම නිශ්චිත අදහසක් නැහැ. යන්නත් පුළුවන්. නොයන්නත් පුළුවන්.
අශේන්ව තෝරගන්න විශේෂ හේතුවක් තිබුණ ද? ඒ හමුවීම ගැනත් කියමු?
“ගුග්ලි” ටෙලි නාට්‍යයේ රූගත කිරීමේදී තමයි මුලින්ම අපි හමුවෙන්නේ. ඊට කලින් අපි හමුවෙලා තිබුණෙම නැහැ. අශේන් හරිම ආදරණීය, අවංක ඒ වගේම හරිම ඉවසීමෙන් වැඩ කරන කෙනෙක්. පස්සේ අපි හොඳම යාළුවෝ වුණා. ඊට පස්සෙ ඉතින් හොඳම යාළුවා මගේ අයිතිකාරයා වුණා….
විවාහ ගිවිස ගෙනත් දැන් ටික කාලයක් වුණා. කවදද දැන් එක වහලක් යටට වෙන්නේ?
ඕනම ලස්සන දෙයකට හොඳම වෙලාවක් තියෙනවානේ. ඒ වෙලාව එනකල් අපි බලන් ඉන්නවා.
දෙන්නම එකම ක්ෂේත්‍රයේ වෙලා කාර්‍යබහුල වෙද්දි ගැටුම් ඇති වෙන්නේ නැද්ද?
අනේ නැහැ. කාර්යබහුල වීම ඇතුළේ තියෙන්නේ අපි අපි වෙනුවෙන්ම මහන්සි වෙනවා කියන දේ….. ඒ නිසා අපි අතරෙ කොහෙත්ම ගැටුම් ඇති වෙන්නේ නැහැ. වැඩ කරන ගමන් අපි අපි වෙනුවෙන් වෙලාව හදාගන්නවා.
විවාහයට ඉක්මන් වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද?
මම හිතන්නේ හැමදේම වෙන්නේ හොඳම විදිහට හොඳම වෙලාවට. මගේ විවාහයත් වුණේ හොඳම වෙලාවට කියලයි මට හිතෙන්නේ…. ඔහුගෙන් මට හැමදේටම ලොකු සහයෝගයක්, ආරක්ෂාවක් ලැබෙනවා. අද මම ගොඩක් සතුටින් ඉන්නවා.
නාමලී ගමගේ