ප්‍රියසාද් පවුලේ වැඩිමලා, එහෙමත් නැත්නම් කවුරුත් ආදරේ කරන දිනක්ෂි සති අන්ත පුවත්පතක් සමඟ මේ විදියට සොඳුරු සංවාදයකට එකතුව තිබුණා. හැමෝම ආදරේ කරන ජනප්‍රිය චරිතයක් නිසාම අපි හිතුවා ඒ කතාබහ මේ විදියට ඔබට අරන් එන්න.
පසුගියදා ඔබ දෙපළගේ 2 වැනි විවාහ සංවත්සරය පැවතුණා නේද?
”ඔව්. පසුගිය කාලය පුරාවට රටේ පැවැති විවිධ ගැටලු හමුවේ අවුරුදු 2ක් ගතවෙලා යනවා දැනුණෙම නැහැ.”

දැන් ඔබ සිඟිති දියණියකගේ මවක්. එම පදවිය ගැන මොකද සිතෙන්නේ?
”මවු පදවිය බොහොම උතුම් සුන්දර අත්දැකීමක්. ඒ වගකීම එකවරම වගේ තමයි ලැබුණේ. මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වුණු කෙනෙක්. විවාහය නිසාවත් වගකීම් කියන දේ මට ලොකුවට දැනුණේ නැහැ. අපි දෙන්නාම සෑමවිටම අපේ ජීවිත අතිශය සංකීර්ණ කරගන්නේ නැතිව එදිනෙදා ජීවිතය බොහොම සාමාන්‍ය විධියට ගත කරනවා. අම්මා කෙනෙක් විධියට දැන් මට ලොකු වගකීමක් පැවරී තිබෙනවා. නමුත් ඉතින් ඒක ලොකුවට බරක් කරගෙන නැහැ. බබත් සමඟ ගත කරන කාලය හරිම සුන්දරයි.”

ඔබට සහ සාරංගට සාමාජ මාධ්‍ය තුළ නිතර විවේචන එල්ල වනවා. ඒ ගැන මොනවද ඔබට කියන්න තිබෙන්නේ?
”ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ චරිත වලට නරක කමෙන්ට්ස් කරන්නේ ව්‍යාජ ගිණුම් හරහා. තමන්ට දිනාගන්න බැරි වූ දේ, තමන්ගේ ජීවිතයේ තිබෙන ආවේග, පීඩන, ප්‍රශ්න – ගැටලු සියල්ල පිට කරන්නේ සමාජ මාධ්‍යය හරහායි. ඒක මටයි නංගිලාටයි විතරක් පොදු දෙයක් නොවේ. ලංකාවේ බොහෝ ජනප්‍රිය අයට ඒවගේ කමෙන්ට්ස් වැටෙනවා. ඇත්තටම මම එවැනි නරක කමෙන්ට්ස් දාන අයට අනුකම්පා කරනවා. එවැනි කමෙන්ට්ස් දැමීමෙන් සිදු වන්නේ ඔවුන් කවුද කියා සමාජයට පෙනී යෑම පමණයි. සාමාජ මාධ්‍ය තුළදි තමන්ට සිතෙන ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්න අවසර තිබෙනවා කියා සිතන්න බැහැ. එහිදී තමාම පනවාගත් ස්වයං විනයක් තිබිය යුතුයි. එවැනි කමෙන්ට් නිසා අපේ ගමන නම් වෙනස් වන්නේ නැහැ.”

පියකු විදියට සාරංගගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?
”ඇත්තටම එයා වගකීම්සහගත හොඳ තාත්තා කෙනෙක්. එයා තරමක් කාර්යයබහුල වුණත්, බබා සමඟ කාලය ගත කරන්න දවස ඇතුළෙදි වෙලාවක් හදා ගන්නවාමයි. බබාට එයාගෙන් ඉටුවිය යුතු වගකීම්, යුතුකම් 100%ක්ම නොපිරිහෙළා ඉටු කරනවා. ඇතැම්විට මගෙන් මඟහැරෙන දේවල් පවා ඔහු සොයාබලා ඉටු කරනවා. ඔහු දරුවන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්.”

දුවගේ මුහුණ බලන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. දැන්ම දුවව පෙන්වන්න බලාපොරොත්තුවක් නැද්ද?
”අනේ එහෙම දෙයක් නැහැ….. පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍යජාලා ඇතුළු බොහෝ තැන්වලදි මට ලැබුණු නරක කමෙන්ට්ස් නිසා ඇත්තටම මට දුවගේ ඡායාරූපයක් කලින්ම, එකවර සමාජ මාධ්‍යයට දාන්න සිතුණේ නැහැ. ඇත්තටම මම කලින් නම් දුවගේ ෆොටෝ එකක් දාන්න සිතාගෙනයි සිටියේ. නමුත් කාර්යබහුලත්වය මත එය මඟ හැරුණා. ගොඩක් අය සිතනවා දරුවට ඇස්වහ වදින නිසා ඡායාරුවක් දාන්නේ නැහැ කියලා. ඇත්තටම ඇස්වහ-කටවහ කියන දේවල් අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මොකද කිසිවක් සඟවන්නේ නැතිව අපි අපේ මුළු ජීවිතයේම වැඩකටයුතු සමාජ මාධ්‍යය හරහා රසිකයන් සමඟ බෙදාහදා ගන්නවා. එනිසා අපි සාමාන්‍ය ජීවිතයේදී ජීවත්වන ආකාරය හැමෝම වගේ දකිනවා සහ දන්නවා. දුවගේ පළමුවැනි උපන්දිනයේදී දුවගේ ඡායාරුවක් දාන්න සිතාගෙන ඉන්නවා.”

අද වන විට කලාව තුළ තවත් නවක පරපුරක් බිහි වී සිටිනවා. ඔවුන් ගැන මොකද හිතෙන්නේ?
”අපෙන් පසු කලාවට පැමිණි නව පරපුරේ ඇතැම් විට අපටත් වඩා රංගනයට දක්ෂ, සුන්දර ළමයි රැසක් සිටිනවා. ඇත්තටම ඒ ගැන සතුටුයි. දැනට කාලෙකට කලින් මමත් මේ ක්‍ෂේත්‍රයට ආවේ නවකයෙක් විධියට. එතකොට මට ඉදිරියෙනුත් දක්ෂ, ප්‍රවීණ කලා පරපුරක් සිටියා. කලා ක්‍ෂේත්‍රය කාලයක් පවතින්න නම් හැමදාම ඒ විධියට යාවත්කාලීන වෙමින් ඉදිරියට යා යුතුයි.”
ඔබගේ රංගන පරාසය හොඳින් පෙන්විය හැකි නිර්මාණ ලැබුණා කියා ඔබ සිතනවාද?
”ඇතැම් නිර්මාණ ඇතුළේ මට ඒ අවස්ථාව ලැබී තිබෙනවා. එසේ නැහැ කියන්න බැහැ. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ නිර්මාණයක් ලැබුණු සෑම විටම බොහෝදෙනා මගේ රංගනය අගේ කළා. ඇතැම්විට අගේ නොකරපු නිර්මාණත් තිබෙනවා. කොහොම වුණත් රඟපාන්න ආසාවෙන් ඉන්න එක් චරිතයක් කියා නැහැ. හොඳ අධ්‍යක්ෂවරයෙක්, හොඳ තිර පිටපතක් යටතේ හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන් භාරගන්නවා. හොඳ වැඩක් කරන්න මම ආසයි. මගේ රංගන පරාසය පෙන්නවන්න පුළුවන්ද බැහැද කියන එකත් බලන කෙනා අනුව වෙනස් වනවා. ඒ අනුව මගේ රංගනයත් සාපේක්ෂයි. මොකද මගේ රංගන ඇතැමෙක්ට හොඳ වුණත්, තවකෙක්ට හොඳම නැති වූ අවස්ථාත් තිබෙනවා. එවැනි ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීම් පවා මා දැක තිබෙනවා.”

වර්තමානය වන විට රට තුළ උද්ගත වී තත්ත්වය ගැන යමක් කීවොත්?
”පොදුවේ අපි හැමෝටම එය බලපාපු ගැටලුවක්. හැමෝම එළියට බහිද්දි අපිටත් ඒ ගැන කතා නොකර, පාරට බහින්නැතිව ඉන්න බැහැ. ඒ මොහොතේ එහෙම කරන එකත් සාධාරණ නැහැ.”

දිනූෂා මනෝරි නිශ්ශංක
මව්බිම