උණුසුම් පුවත්
Search
adithya

”වෙන කවුරුවත් වගේ නොවී මගේ විදියට ඉන්නයි මට ඕන” – ආදිත්‍යා වැලිවත්ත

397

නව යෞවන, යෞවනියන්ගේ හද බැඳි චරිතයක් ලෙස සිරස වොයිස් ටීන් රියැලිටි ඔස්සේ කරළියට ආ ආදිත්‍යා වැලිවත්ත නම් කරන්න පුළුවනි. ගායනයට සමගාමීව ඇයටම ලාලිත්‍යයක් කරගත් නර්තනාත්මක රිද්මය සමග වේදිකාව හැඩකරන අයුරු සැබැවින්ම සුන්දරය. සීතා, ශෲංගාරේ, මියුසික් වීඩියෝ සමග ඇයගේම ගායනය සහ රංගනයෙන් යූ ටියුබය ආක්‍රමණය කළ සුන්දර ආදිත්‍යා මේ දිනවල සිරස ‘සජ්ඣායනා’ වැඩසටහන ද අපූරුවට මෙහෙයවනවා දැකගන්නට පුළුවන්. ඉතින් මේ ඇය පුවත්පත් සාකච්ඡාවකට එක් වූ මොහොතක්.

ආදිත්‍යා තවත් නමක් තියෙනව නේද?

මගේ සම්පූර්ණ නම ගිම්හානි ආදිත්‍යා වැලිවත්ත

‘ගිම්හානි’ කියලා කතා කරන්නෙ කවුද?

ඒ නම පාවිච්චි වෙනවා අඩුයි. මම ආස ආදිත්‍යා වැලිවත්ත කොටසට. ඒ නිසා ගිම්හානි පාවිච්චි වෙනවා අඩුයි. ඉස්කෝලේ යාළුවෝ විතරයි මට ගිම්හානි කියන්නෙ.

ආදිත්‍යා කැමැති වසන්තයටද? ගිම්හානයටද?

වසන්තයටත් ආසයි. ගිම්හානයටත් ආසයි.

image 358

‘ආදිත්‍යා’ කියන නමේ තේරුම?

එක එක අය එක එක තේරුම් කියනවා. ඉතින් හරියටම තේරුම දන්නා කෙනෙක් මට කියන්න.

‘ආදිත්‍යා’ රඟපෑමට එන්න සූදානමින් ඉන්නෙ කියලා ආරංචියි?

තවම රඟපෑම ගැන හිතුවෙ නැහැ. ආරාධනා නම් ලැබුණා. ඒත් බාර ගත්තෙ නැහැ. දැනට මම රඟපාන්නේ මගේම මියුසික් වීඩියෝ වල විතරයි. ෆිල්ම් එකක හොඳ චරිතයක් ලැබුණොත් රඟපාන්න ආසයි.

මොන වගේ චරිතයකට ද කැමැති?

හරියටම ඒ ගැන කියන්න බැහැ. පිටපත අනුව චරිතය කියෙව්වාම මට දැනෙනවා නම් ඒක බාර අරගෙන මට රඟපාන්න පුළුවන් ද කියලා බලනවා.

image 357

ආදිත්‍යා ගැන මේ දිනවල වැඩිපුර කතා වෙන්නෙ?

සිරස පටන් ගත්ත අලුත් ප්‍රෝගෑම් එක නිවේදනය කරන්න එක්වූ නිසා.

සිරස සජ්ඣායනා ගැනත් යමක් කියමු?

ඒකෙ වෙනස තියෙන්නෙ වැඩසටහන මෙහෙයවන අතරේ මටත් ගායනය කරන්නට තිබීමයි. ඒත් මම කැමැති මම ගායනා කරනවට වඩා අනෙක් අයට තැන දෙන්න.

ආදිත්‍යාගෙ ගෙදර විස්තර කියමු?

තාත්තියි, අම්මියි, අක්කියි, මමයි, මල්ලියි. අපි හරිම ආදරණීය පවුලක්. වෙලාවකට වාද විවාද වෙනවා. රණ්ඩු වෙනවා. සාමාන්‍ය පවුලක තියෙන සියලු දේ තියෙනවා. ඒත් ඒ සෑම දෙයක් එක්කම ගත්තොත් අපි හරිම ආදරණීය පවුලක්. මොන දේ වුණත් දවස අවසානයේදී අපි පස්දෙනාට අපි පස්දෙනා ඉන්නවා.

image 362

තවම ආදිත්‍යා ඉගෙන ගන්නවද?

සා/පෙළ ඉවර කරලා දැන් කැම්පස් එකක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා. ඒ අතරේ තමයි මම කැමැති සිංදු වැඩයි, අනෙක් ටී.වී. වැඩ සටහන්වලටයි දායක වෙන්නෙ.

ආදිත්‍යා කැමැති මොන වගේ දේ වලටද?

ව්‍යාපාර අංශයෙන් ඉගෙන ගන්න ආසයි. දවසක මම ආස කරන්නෙ මගේම ව්‍යාපාරයක් කරන්න. ඒකට හදිසියක් නැහැ. ඉස්සෙල්ලා හැම දෙයක් ගැනම ඉගෙන ගන්න වගේම අත්දැකීම් ලබන්න පුළුවන් නම් හොඳයි. ඒ හැර මගේ ගායන අංශය ඔස්සේ දිගටම කටයුතු කිරීම අරමුණයි.

ගම වැලිවත්ත ද?

මාලබේ, අතුරුගිරිය.

image 363

රුක්මණී දේවියගෙ ගීත ගයද්දී ආදිත්‍යාට ඉබේම රිද්මයක් එනවා. ඒ නර්තන ලීලාව ලස්සනයි කියලයි බොහෝ දෙනා කියන්නේ? ඒක හිතලා කරන දෙයක්ද?

මම නිතරම හිතන්නෙ වෙන කවුරුවත් වගේ නොවී. මගේ විදියට හැඩයක් හදාගත යුතුය කියලයි. තව කෙනෙක් විදියට සිංදු කියලා, තව කෙනෙක් විදියට නටලා හරියන්නේ නැහැනෙ. අපි අපි වුණාම හරි ලේසියි. ඒත් අපේ රටේ නැත්තෙත් ඒකමයි. අපට ප්‍රවීණ අයගෙන් ගත යුතු බොහෝ දේ තියෙනවා. හැබැයි එහෙමයි කියලා එයාලව අනුකරණය කළොත් අපි සාර්ථක වෙන්නෙ නැහැ. එකම දේ ඒ ප්‍රවීණයන්ගෙ ගීත නිර්මාණ වලට හානියක් නොකර අපි ඒවා යළි ඉදිරිපත් කිරීමට වග බලාගත යුතුමයි. නර්තන ලීලාව මට මගේ ඇඟෙන්ම එන දෙයක්.

image 364

ආදිත්‍යා පැරණි ගීත අහනවද? මොකද ඒවා ලස්සනට ගායනා කරන බව තමයි හැමෝම කියන්නෙ? කවුද ආසම ගායිකාව?

මම පැරණි ගීත බොහෝමයක් අහනවා. ගායිකාවක විදියට අපි සෑම ගීතයක් ගැනම වගේ දැනගෙන ඉන්නම ඕනැ. මුලදි නම් පොඩි කාලයේ ඉඳලා හැදී වැඩුණු විදිය එක්ක මම ඇහුවේ ඉංග්‍රීසි ගීත. ඒ රිද්මය මට තිබුණෙ. හැබැයි අපේ ගෙදර අම්මා තාත්තා බොහෝ වෙලාවට පැරණි ගීත අහනවා. ඒ වටපිටාව සහ හුරුව ඇතිවුණා. මියුසික්වලට හිත ගිය දවසේ ඉඳලාම ඒ ගීත අහන්න පටන් ගත්තා. පැරණි ගී ගැයූ ගායිකාවන් අතරින් බොහෝ දෙනාට ආසයි. ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සංගීතයට හරිම ආසයි. බටහිර ගායිකාවන් අතරින් බියොන්සේ සහ අරියානා ග්‍රන්ඩේට ආසයි.

ආදිත්‍යා වැඩිපුර කැමැති මොන වගේ ගීත වලටද?

සෑම තේමාවක් යටතේම වූ ගීතවලට ආසයි. මට පුළුවන් විදියට ඒ සෑම ගීතයක්ම ගයන්නත් උත්සාහ ගන්නවා. සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඒ ගැන තේරුම් කරන්න අමාරුයි. ඒ තරමටම සංගීතය කියන විෂය හරි පුළුල්. හිතට දැනෙන දේ තමයි බොහෝ වට සංගීතයෙන් අපි ප්‍රකාශ කරන්නෙ.

image 356

ආදිත්‍යාගේ අරමුණ ජාත්‍යන්තර වේදිකාවට යාමට ද?

එහෙම වෙන්න නම් මම මගේ රට නියෝජනය කරන්න වෙනවා. ඒ වගේම නිර්මාණ වෙතින් බොහෝ වෙනසක් කරන්න වෙනවා. ඒක එක් රාත්‍රියකින් යන්න පුළුවන් ගමනක් නෙවෙයි.

ආදිත්‍යා මොන වගේද?

සාමාන්‍ය ළමයෙක්. ඒත් අනෙක් අයට වඩා සෑම තත්පරයකදීම මොනවා හරි දෙයක් ගැන ඉගෙන ගන්න ආසයි.

image 355

මේ දිනවල මොන විදියටද කාලය ගත කරන්නේ?

මගේ දවස කොහොම හරි අරුත්බර කරගන්න තමයි උත්සාහ ගන්නෙ. ගීත අංශයෙ හෝ ඉගෙන ගන්න පැත්තෙ හෝ මොන දෙයක් ගැන හරි ඉගෙන ගන්නවා. කොහොම වුණත් දවස කාර්යබහුලයි. ප්‍රසංග කරනවා. ටීවී ප්‍රසන්ට් කරනවා. ඒ වගේ දේ නිසා කාර්යබහුලයි.

ආදිත්‍යා අඩුපාඩු හදාගන්න කැමැති කෙනෙක්ද? අනුන්ගෙ උපදෙස් පිළිපදිනවද?

අනිවාර්යයෙන්ම මගේ අඩුපාඩු හදාගන්න ඕනෑ. අඩුපාඩු අපි හැමෝටම තියෙන දෙයක්. සියයට 99 ක්ම වගේ මගෙත් අඩුපාඩු ඇති. මිනිස්සුන්ට අනෙක් අය ගැන ඕනෑම දෙයක් කියන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනැ ඒවායින් අපි ගත යුතු හොඳ දේවල් මොනවද කියන එක විතරයි.

image 354
image 359
image 360
image 361

සඳුන් ගමගේ




Leave a Reply

Your email address will not be published.