උණුසුම් පුවත්
Search
nethmi roshel

”මට ඕන විවාහයකින් කෙළවර වෙන සම්බන්ධතාවක්” – නෙත්මි රොෂෙල්

347

දෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. වයස් භේදයක් නැතුව කා අතරත් ජනප්‍රිය ආක්ෂා, මේ දිනවල පුංචි ළමුන්ගේ හිත්වල සුරංගනාවිය යි. ඒ ලිට්ල් ස්ටාර් සීසන් 11හි පුංචි පැංචන්ගේ ආදරණීය නෙත්මි අක්කා වෙමින් ඔබ හමුවට ආ ඇය ලිට්ල් ටයිටෑන් වැඩසටහන ඔස්සේ ද මේ දිනවල ඔබ හමුවට එන නිසයි. සහජයෙන් ලද නර්තන හැකියාවෙන් රංගනයට පිවිසුණු ඇය නෙත්මි රොෂෙල්ය.

image 86

“2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය වීම මගේ ලයිෆ් එකේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් නිවැරැදියි. ඒ හරහා තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ. අරුණ ජයවර්ධනගේ ‘සක්කාරම්’ ටෙලි නාට්‍යයේ ජයවතීගේ චරිතයට මට ආරාධනා ලැබෙන්නේ අංජලී බුදවත්ත අක්කා නිසා. ඇය තමයි මගේ පෙනුම, නර්තන හැකියාව දැකලා ඒ චරිතය සඳහා මං සුදුසුයි කියලා හඳුනාගත්තේ. කලා ක්ෂේත්‍රයේ මගේ මුල්ම අත්දැකීම ඒක. ඒ වගේම ඒක ප්‍රධාන චරිතයක්. අවුරුදු කුමරිය වීමෙන් පස්සේ රංගනයට හිතේ ආසාවක් තිබුණත් ගෙදරින් අකමැති වේවි කියලා ලොකු බයකින් හිටියේ. වාසනාවකට වගේ ගෙදරින් කැමැත්ත ලැබුණා.

image 85

ඊට පස්සේ ශිවගුරුනාදන් සර්ගේ ‘හිරු ඇවිදින්’ ටෙලි නාට්‍යය. ඔය අතරේ තමයි බොහෝ ප්‍රේක්ෂකයන් මාව ආදරෙන් වැලඳගත් දෙවනි ඉනිමේ ආක්ෂාගේ චරිතය ලැබෙන්නේ. ඊට කලින් රාවණාහි සුපර්ණිකා කුමරිය වුණත් ඒක විකාශය වුණේ දෙවනි ඉනිමට පස්සේ. වෙනස් වෙනස් චරිත කිහිපයකටම දායක වෙන්න හැකිවුණා. නෙත්මි රොෂෙල් දන්නැති බොහෝ පිරිස් ආක්ෂාව හොඳට දන්නවා. පසුගිය වසර දෙක පුරා දෙවැනි ඉනිමේ ආක්ෂා ජනප්‍රියම නිළි නාමයන් අතරේ අවසන් දෙදෙනා අතර සිටීම මට ලොකු සතුටක්.

image 83

‘ආදරණීය ප්‍රාර්ථනා’ හි පාරමී කියන්නේ මේ හැම චරිතයකට වඩා හාත්පසින්ම වෙනස් අහිංසක චරිතයක්. ඒ මගේ කුළුඳුල් සිනමා අත්දැකීම. කැනඩාව, ඉතාලිය වගේ රටවල මේ දිනවල ප්‍රදර්ශනය වෙනවා. ලබන මාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වේවි. තවත් ෆිල්ම් 2ක වැඩ බාර අරන් තියෙනවා. දෙවනි ඉණිම ෂූටින්, ලිට්ල් ටයිටෑන් වැඩසටහන වගේම අලුතින් රූගත කරන ටෙලි නාට්‍යයක් නිසා මේ දිනවල ගොඩක් කාර්යබහුලයි.“

කලාවත් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන ඇය තවමත් ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණය පිළිබඳ උපාධි අපේක්ෂිකාවක්.

image 84

“කවදාවත් රැකියාවක් කරන්න ඕන කියන හැඟීම මට නැහැ. මං කැමති නැහැ උදේ ගිහින් හවස එන ඒකාකාරී රැකියාවකට. කවදහරි මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි මට ඕන. උසස් අධ්‍යාපනය හදාරන අතරතුරේ තමයි මට රංගනයට අවස්ථාව ලැබුණේ. ඒ නිසා රංගනය පිළිබඳ ලොකු අත්දැකීම් නැහැ. මට සහාය දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්, ශිල්පිනියන් තමයි මට රංගන පාසලක් වුණේ. උපාධියෙන් පස්සේ රංගනය ගැන වැඩිදුර හැදෑරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. නර්තනය මං කුඩා කාලේ ඉඳන්ම හැදෑරුවා. දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන අංශයේ අවසන් සිය දෙනා අතරට ආවා. ඊට කාලෙකට පස්සේ මට ඒ වැඩසටහනේම නිවේදන කටයුතු කරන්න ඇරයුම් ලැබීම කිසිදා අමතක නොවන දෛවෝපගත සිදුවීමක්.”

තවමත් විසිතුන්වැනි වියේ පසුවන රොෂෙල් ඉතා පියකරු යුවතියක්.

image 79

“මගේ පෙනුම ගැන උනන්දු වෙන්නේ අපේ අම්මා. මං සැලෝන් යන්නේ නැති තරම්. සමට, හිසකෙස්වලට ස්වාභාවික සත්කාර ඔක්කොම කරන්නේ මගෙ අම්මා. එයා නිතරම කියන දෙයක් තමයි අලුතින් ලස්සන වෙන්න ඕන නෑ. ඔය ලැබිල තියෙන ලස්සන පරිස්සම් කරගන්න කියලා.”

ආදරය ගැන රොෂෙල්ට තාමත් අත්දැකීම් නැති හැඩයි. ආදර ඇරයුම් බාරගැනීමට තමා තවමත් පරිණත නැති බවයි ඇගේ අදහස.

image 80

“යෝජනා නම් ගොඩක් එනවා. මුලින් මුලින් නම් මං හරි තරහෙන් ඒවට උත්තර දුන්නේ. දැන්නම් බොහොම ඉවසීමෙන් කියනවා ගෙදරින් අහන්න කියලා. ඉතින් ඇත්තටම ආදරයක් තියේනම් ගෙදරින් අහයිනේ. නිකන් විනෝදෙට අහන අය ඊට එහා යන්නෙ නෑනේ. අම්මයි, තාත්තයි ඒක ගාණට බැලන්ස් කරනවා. ඒ නිසා මට ලොකු ගැටලුවක් නැහැ.

image 81

ආදරය කියන්නේ මට ලොකු දෙයක්. මට තේරෙන්නෑ කොහොමද ඒක හැන්ඩ්ල් කරන්නේ කියලා. මං දැකල තියෙනවා මගේ යාළුවො ආදරේ නිසා අඬනවා. දුක්විඳිනවා. ආදරේ කරන අය වෙනස් වෙනවා. මට නම් ඒ දේවල් දරා ගන්න අමාරුයි. මං හිතන්නේ මං තාම ඒකට පරිණත නෑ කියලා. මං කැමති නැහැ නිකන් සම්බන්ධතාවක් පවත්වන්න. මට ඕන ඒක විවාහයකින් කෙළවර වෙන්න. කොහොම වුණත් ඒවට තව කල් තියෙනවා කියලයි මට හිතෙන්නේ.”

image 82

නාමලී ගමගේ