උණුසුම් පුවත්
Search
shalani 1 2

”මම හිතුවේ මේ සම්මානය ශලනිට ලැබෙයි කියලා” – උදාරි වර්ණකුලසූරිය

1721

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය ලෙස හඳුන්වනු ලබන 26 වැනි සුමති සම්මාන උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී 2020 වර්ෂය සඳහා හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස ගිරිදේවි හි ආශාගේ චරිතය රඟපෑ ශලනි තාරකාත් Can you Hear meහි මහීමිගේ චරිතය රඟපෑ මිෂෙල් දිල්හාරාත්” සංසාරාරණ්‍යය අසබඩ හි ළමාතැනීගේ චරිතය නිරූපණය කළ උදාරි වර්ණකුලසූරියත් නිර්දේශ වී තිබිණි. අවසානයේ මෙම සම්මානය හිමිවූයේ උදාරි වර්ණකුලසූරියටය. ඉතිං ඒ ගැන විමසන්න උදාරි සමග පිළිසඳරක යෙදුන මොහොතක අපි අහපු ප්‍රශ්න වලට ඇය කෙළින්ම උත්තර දුන්නා.

සංසාරාරණ්‍යය අසබඩ හි ළමාතැනී යළිත් වතාවක් හොඳම නිළිය වෙනවා?

ගොඩක් සතුටුයි. ආඩම්බරයි. ඒ වගේම සංසාරාරණ්‍යය අසබඩ ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වන සංජය නිර්මාල්ට ස්තුතිවන්ත වෙන්න ඕන ළමාතැනීගේ චරිතය මා ගැන විශ්වාසයක් තබලා මට ලබාදුන්නාට. සයිමන් නවගත්තේගම මහත්මයා අප අතර නැතිවුණාට ඔහුටත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඒ වගේ දැවැන්ත චරිතයක් ඔහු අතින් රචනා කළාට.

ගිය වසරේත් ළමාතැනී හොඳම නිළිය වෙනවා?

ගිය අවුරුද්දේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ දීත් ළමාතැනී හොඳම නිළිය සම්මානය ලබාගන්නවා. ඒ වගේම මේ අවුරුද්දේ සුමති සම්මාන උළෙලේදීත් ඒ ළමාතැනී හොඳම නිළිය සම්මානයට පාත්‍ර වෙනවා. මම විශ්වාස කරනවා සයිමන් නවගත්තේගම සහ අධ්‍යක්‍ෂවරයා මවපු ළමාතැනී මගෙන් හරියට වෙන්න ඇති කියලා.

මෙය ඔබේ ජීවිතයට සුවිශේෂයි?

ඇත්තටම ඔව්. මගේ රංගන ජීවිතයේ අවුරුදු පහළොවක ගමනේදී ආපස්සට හැරිලා බැලුවොතින් ජනප්‍රියම නිළියට කිහිප වතාවක්ම පාත්‍ර වෙනවා. හැබැයි හොඳම නිළියට නිර්දේශ වෙන්නේ ප්‍රථම වතාවට ගිය අවුරුද්දේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී. එතැනදී මට සම්මානය පවා ලැබෙනවා. ඒ වගේම පළමු වතාවට සුමති සම්මාන උළෙලේදීත් ළමාතැනී සම්මාන ලබනවා. මම හිතනවා මේක මගේ පෙර පිනක් කියලා.

Snowflake%20 %202023 02 20T132411.973

හැමෝම හිතුවේ ගිරිදේවි හි ආශා චරිතය රඟපෑ ශලනිට මේ සම්මානය ලැබේවි කියලා?

ඔව්. ඇත්තටම මමත් බලාපොරොත්තු වුණා ශලනි තාරුකා රඟපෑ ගිරිදේවි හි ආශාගේ චරිතයට මේ සම්මානය ලැබේවි කියලා. මම හිතුවා රයිගම් සම්මාන උළෙලේදී මාව ඇගයීමට පාත්‍ර වුණ හින්ද සුමති සම්මාන උළෙලේදීවත් ඇය එම සම්මානයට පාත්‍ර වේවි කියලා. මමත් ඇත්තටම බලාපොරොත්තු වුණේ ශලනි ජයග්‍රහණය කරාවි කියලා. ශලනියි මමයි කියන්නේ හරි හොඳ මිතුරියන් දෙදෙනෙක්. ඇත්තටම ඇයත් සතුටු වුණා මට මේ සම්මානය ලැබීම ගැන. ඇයට ලැබුණා නම් මාත් හරි ආදරෙන් අත්පුඩි ගහලා සුබපතන්න හිටියේ.

ඔබේ අතට සම්මානය හිමිවෙන කොට ශලනිගෙ ප්‍රතිචාරය මොන වගේද?

හරිම සතුටෙන් හිනාවෙලා. මට සුබ පැතුවා.

ළමාතැනීට මේ වගේ ගමනක් යන්න පුළුවන් වේවි කියල හිතුවද?

ඇත්තටම මම එහෙම හිතුවේ නැහැ. මට ඒ චරිතය ලැබෙද්දී මම හිතුවේ අභියෝගාත්මක චරියතයක් ලැබුණා කියලා විතරයි. අවසානයේ මම ඒ අභියෝගය ජයගත්තා කියලා හිතනවා.

මෙවර සම්මාන උළෙලට සැමියා සහභාගි වුණේ නැතිද?

නැහැ. මේ පාර එයාට එන්න නිවාඩු තිබුණේ නෑ. ගියවර සම්මාන උළෙලට ආවා. ලංකාවට ඇවිත් ගිහිල්ලා සතියක්වත් නෑ.

May be an image of 1 person and sitting

දුව ලංකාවෙද ඉන්නෙ?

නැහැ. දුව අධ්‍යාපනය හදාරන්නේ සිංගප්පූරුවේ. මේ දවස්වල ඉස්කෝලෙ නිවාඩු නැති හින්ද එයා සිංගප්පූරුවේ ඉන්නෙ.

අම්මා හොඳම නිළිය වීම ගැන දුව මොනවද කිව්වේ?

ඇත්තටම ගොඩක් සතුටු වුණා. මම ආඩම්බර අම්මා කෙනෙක්.

එතකොට සැමියා?

එයත් සතුටු වුණා. එයත් මුහුණුපොතට විශේෂ සටහනකුත් එකතු කරලා තිබුණා. පසුගිය අවුරුදු පහළොව පුරාවට එයත් මේ ගමනේදී මාත් එක්ක හිටියා.

මේ දවස්වල මොනවද කරන්නේ?

මම පසුගිය අවුරුද්දක් පුරාවට ෂූටින්වලට සහභාගි වුණේ නෑ. මොකද දුවට වෙච්ච පොරොන්දුවක් හින්ද. දැන් ඒ පොරොන්දු කාලය ඉවරයි. ආපහු මම වැඩ පටන් ගත්තා. මේ දවස්වල කෙටි කොටස් ටෙලිනාට්‍ය දෙකක් සහ චිත්‍රපට දෙකක් භාර ගත්තා.

Snowflake%20 %202023 02 20T132336.902

ඔබ රංගනයෙන් දායක වුණු චිත්‍රපට රැසක් තිරගත වෙන්න තිබෙනවා නේද?

ඔව්. චිත්‍රපට අටක් තිරගත වෙන්න තිබෙනවා. ඉතිං ඒවා තිරගත වෙනකම් තමයි බලාගෙන ඉන්නේ.

මොනවද ඒ චිත්‍රපට?

ජැක්සන් ඇන්තනීගේ එකගෙයි සොකරි, සංජීව පුෂ්පකුමාරගේ ආසු, සරත් වීරසේකරගේ ශ්‍රී සිද්ධා, සුනිල් ආරියරත්න මහත්මයාගේ ක්‍ෂීර සාගරය කැලඹිණ, ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මිදුණු විශ්වය, පී. සිවදාසන් මහත්මයාගේ දෙවන යුද්ධය, ජැක්සන් ඇන්තනී මහත්මයා අධ්‍යක්‍ෂණය සහ තිර රචනය කළ දේවි සම්බුලා.

දැවැන්ත අධ්‍යක්‍ෂවරු ගොන්නකට මැදිවීම ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි…. මම හරි භාග්‍යවන්තයි කියලා හිතනවා. මොකද හැම රංගන ශිල්පිණියකගේම හීනයක් තමයි අතිදැවැන්ත අධ්‍යක්‍ෂවරු එක්කෙනෙක් යටතේ හෝ අධ්‍යක්‍ෂණය වීම. මගේ වාසනාවට මට ඔවුන් සියල්ලගේම යටතේ අධ්‍යක්‍ෂණය වෙන්න ලැබුණා. ඔවුන්ගේ ගුරුහරුකම් ලැබුණා. ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණා.

පායා එන්න හිරුසේ හිටපු උදාරි, බොඳ මීදුම් හි සංසලා දැන් හරි පරිණතයි කියලා හිතෙනවාද?

ඒ වටිනාකම මට දුන්නේ ආදරණීය ජූරිය විසින්. ඒ ලේබල් එක මට ලබාදුන් ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා.

ඒ කාලේ උදාරි හිටියේ ජනප්‍රිය නිළිය ගොන්නේ. දැන් දැන් හොඳම නිළිය අතරේ, මොකද මේ කාලය ගැන හිතන්නේ?

පුංචි තිරයේ හෝ රිදී තිරයේදී ප්‍රේක්‍ෂකයෝ අපිව දකින සුන්දරත්වය තිරයෙන් පිටුපස ඒ තරම් මිහිරි නෑ. අපි මහන්සි වෙනවා. කැපවෙනවා. ඇත්තටම අපි කායිකව සහ මානසිකව ගොඩක් මහන්සි වෙනවා. අපේ හැඟීම් සහ රූපය තමයි අපි විකුණන්නේ. ඒ මහන්සිය සහ කැපවීමට ඇගයීමට පාත්‍රවීම වගේම එයට වටිනාකමක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි.

Snowflake%20 %202023 02 20T132237.112

ඒ කාලේ ඔබට හරියට මඩ ගැසීම්, ගොසිප් වගේ දේවල් නිර්මාණය වුණා?

ඒවා අදටත් හැදෙන්න පුළුවන්. හෙටත් ගොසිප් හැදෙන්න පුළුවන්. ඒවා ප්‍රසිද්ධ නාම වටා ගෙතෙන දේවල්නේ. මොකද ප්‍රසිද්ධ නොවන චරිතයකට ගොසිප් එකක් හැදුනට ඒක ගොසිප් එකක් වෙන්නේ නෑ. ප්‍රසිද්ධ චරිත වටායි ගොසිප් හැදෙන්නේ. ඉතිං ඒක පොදු දෙයක්. මම ඒ දේවල් සතුටින් භාරගන්නවා.

දැන් වෙනකොට උදාරි චරිත තෝරගන්නේ හරි පරිස්සමින්ද?

දැන් නෙමෙයි මම කවදත් එහෙමයි. ඕනෑම නිර්මාණයක් මට භාර දුන්නොත් මට ලැබෙන චරිතය මම හැදෑරීමකට භාජනය කරනවා. ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන හිතනවා. මට කරන්න පුළුවන් චරිත විතරයි භාරගන්නේ. බොරුවට කරන්න බැරි චරිත භාරගන්නේ නෑ. කරන්න අපහසු චරිතයක් ලැබුණොත් මම ඔවුන්ට කියනවා මට මේක කරන්න අපහසුයි කියලා. එදා ඉඳලා අද වෙනකම් මම චරිත තෝරා ගැනීමකින් තමයි භාරගත්තේ.

May be an image of 1 person, waterfall and nature

මහේෂ් එදිරිසිංහ