උණුසුම් පුවත්
Search
wathsala

”නීති දාන්න ඕන විදියට මං වැඩ කරන්නේ නෑ” – වත්සලා දියලගොඩ

148

තරුණ කාලෙම ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වෙලා ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ළඟා වෙද්දී කලාවෙන් ඈත් වුණ කෙනෙක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ‘මුතු කිරිල්ලී’ නාට්‍යයේ අනුපමට ආදරය කරපු ඒ අහිංසක පෙම්වතියගේ චරිත නිරූපණයට ප්‍රේක්‍ෂකයන් අදටත් ආදරය කරන නිසා ඇය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ කතාබහ නවලිය පුවත්පත ඇයත් සමඟ කළ සාකච්ඡාවක උපුටනයක්.

ඉතින් වත්සලා… මොනවද ඔයාගේ අලුත් තොරතුරු..?

වරදක් නැහැ… සාමාන්‍ය විදියට මම දවස ගෙවනවා.

image 493

කලාවෙන් ඈතට ඈතට ගිහින්… පවුල කියන බැඳීම තුළ ඔයා දැන් දවස ගෙවනවා..?

කලාවෙන් නම් ඈතට ඈතට යන්න කවදාවත් හිතලා නැහැ… හිතන්නෙත් නැහැ… හැබැයි පවුල කියන බැඳීම තුළ දවස ගෙවනවාය කියන ප්‍රශ්නයට නම් ‘ඔව්…’ කියන උත්තරය දෙන්න ඕනෑ. විශේෂයෙන්ම දවසෙ වැඩි හරියක්ම ගෙවන්නේ මගේ දූ එක්ක… එයාට දැන් වයස අවුරුදුු අටක් වෙනවා.

image 487

දුව තනි කරන්න බැරි හින්දද නාට්‍ය රංගනයට තිත තිබ්බේ..?

රංගනයට කවදාකවත් මම තිත තිබ්බේ නැහැ… ‘දූ’ ලොකු වෙනතුරු… රංගනයට පුංචි විරාමයක් තිබ්බා කිව්වොත් හරි මං හිතන්නේ… ඒ වගේම ඒ විරාමය අතරට ‘කොවිඩ්’ උවදුරත් තරමක් හේතුවක් වුණා… ගේ ඇතුළටම වෙලා දුව එක්ක දවස ගෙවන්න.

රංගනයට යන්න එපා කියලා ප්‍රසංග නීතියක් එහෙම දැම්මේ නැහැ නේද..?

අයියෝ නැහැ… එයා මට නීති දාන්නෙ නැහැ… නීති දාන්න ඕනෑ විදියට මං වැඩ කරන්නෙත් නැහැ. මගේ සීමාව මොකක්ද කියලා මම දන්න බව ප්‍රසංග හොඳින්ම දැනගෙන ඉන්නෙ. ඒ නිසා නිදහස් තීරණ ගන්න අයිතිය එයා මට පවරලා තියෙන්නෙ.

කවදද දැන් ඔය විරාමයට තිත වැටෙන්නෙ වත්සලා..?

ළඟදීම විරාමයට තිත වැටෙයි මං හිතන්නේ… මම ආයෙම ටෙලි තිරයට එන්න සූදානම් වෙනවා.

image 485

ආරාධනයක් තිර පිටපතක් ලැබුණද..?

තවම නැහැ… චරිත තෝරා බේරා ගැනීමේ සූදානම මත තමයි නැවැත රංගනයට එන්නේ.

තෝරන, බේරන කලාව මොන වගේද..?

හුඟාක් විට වත්සලා දියලගොඩ කියන නිළියව පුංචි තිරය හරහා ප්‍රේක්‍ෂකයා දැක්කේ දඟකාර, හුරතල්, මුඛරි චරිත නිරූපණ තුළිනුයි. මතකනේ… සාය කොටයක්, ගවුම් කොටයක් ඇඳගෙන නිතරම වාගේ කළේ දාංගලේට දුව, පනින චරිත… මුතු කිරිල්ලී, අමා පළවෙනි ටෙලිය ‘සෙනෙහසට ආදරෙයි’. ඒ හැම එකකම චරිත හරිම දඟකාරෙට තිබුණා. හැබැයි දැන් මට එහෙම රඟපාන්න බැහැ. මම අවුරුදු 8ක දුවකගේ අම්මා කෙනෙක්… ඒ වගේම බිරියක්… ඒ තනතුරු දෙකේම ගෞරවය රැකෙන විදියට නැවැත රංගනයට පිවිසෙන්න තමයි හිතාගෙන ඉන්නේ… බොහෝ විට තරුණ මවකගේ චරිත… පරිණතව හිතන්න පුළුවන් සහෝදරියකගේ බිරියකගේ චරිත එයට ඇතුළත් වේවි.

image 486

සැලැස්ම සහ තීරණය මහත්තයා ප්‍රසංගගෙද..?

නැහැ… ඒක මම මගේ පහසුව වෙනුවෙන් ගත්ත තීරණයක්….

ඒ කියන්නේ පෙම්වතියගේ චරිත රිජෙක්ට්..?

එහෙමයි දැනට හිතේ තියාගෙන ඉන්නේ… බලමු ඉස්සරහට.

image 484

තරුණ පෙම්වත් චරිත රඟපාන්න බැරි විදියට ඔබ පෙනුමෙන් වෙනස් වෙලාවත්ද..?

කොහොමටවත් නැහැ. මම පොඩ්ඩක්වත් හිටියට වැඩිය මහත්වෙලා නැහැ. මගතොට හමුවෙන හැමෝම වගේම කලා ක්‍ෂේත්‍රයේ සමීපතමයන්ද මට විහිළු කරනව ‘තවම ඔයාට කෙල්ලගේ චරිතය කරන්න පුළුවන් වත්සලා’ කියලා. එහෙම කිව්වට පෙනුම හානිකර නොවුණට මම ලොකු දුවකගේ අම්මා කෙනෙක්ය කියන ප්‍රතිරූපය මට අමතක කරන්න බැහැ. ඒ හින්දා හිතට අපහසුවක් නොවන සැහැල්ලු චරිත රඟපාන එක කොයිකටත් හොඳයිනෙ.

image 488

රඟපාන චරිත ගැන දැන් ප්ලෑන් කළාට ඔබ නිළියක් වුණේ ප්ලෑන් එකකට නෙවෙයි..?

නැහැ… නිළියක් වෙන්න ප්ලෑන් කෙරුවේ නැහැ… පාසලේදී වේදිකාවේ රඟපෑවා හොඳම නිළියට සම්මාන ගත්තා. ගීත ගායනයට වගේම නර්තනයටත් ළැදිව දක්‍ෂකම් පෙන්නුවා. නමුත් ඒ කිසිවක් කළේ නිළියක් වෙන ‘ඒම්’ එකකින් නෙවෙයි.

image 482

බොහෝ ටෙලිනාට්‍ය තුළ අසීමිතව ජනප්‍රියත්වයට පත් ඔබට ජනප්‍රිය නිළි සම්මානයක් නොලැබීම පුදුම නැද්ද..?

ඇයි එවැන්නකට පුදුම වෙන්නේ. සම්මාන විනිශ්චය බොහෝ විට සමහර තැන්වල එහෙම අවස්ථා ඇති කරවනවා. හැබැයි මම සම්මාන පොරවලට කවදාවත් එකතු වෙන්නේ නැහැ. සම්මාන නොලැබුණාය කියා මට දුකකුත් නැහැ. අනෙක් කාරණය කූපන් දමා සම්මාන ගන්නා කලාව මම අනුමත කරන්නෙත් නැහැ. කොහොමත් පාරට බැස්සම ‘මාස්ක්’ එක දාගෙන හිටියත් මාව හඳුනගෙන දුවගෙන ඇවිදින් කතා කරන, මාව වටකර ගන්න…’ ඇයි අනේ දැන් රඟපාන්නේ නැත්තේ… ඔයාව ටෙලියක දකින්නත් ආසයි’ කියන රසිකයෝ මට ඉන්නවා නම් ඊට එහා තව මොනවද.

තව එක දෙයක් කියන්නම ඕනෑ. ජනප්‍රිය ටෙලි නිළියට හිමි සම්මානය සඳහා කිහිප වතාවක්ම වගේ අතින් හෝ මගේය කියන කවුරුන් හෝ ලවා ‘එස්.එම්.එස්.’ එකක්වත් නොගහා මම නිර්දේශ වී තිබීම මට සතුටක්. ඒ වගේම අති දක්‍ෂ චරිත රංගනයක් තුළින් හොඳම නිළියට හිමි සම්මානය කවදාක හෝ මට ලැබෙයි නම් එය භාග්‍යයක් කියන හැඟීමද මා තුළ තියෙනවා.

image 489

මෙගා ටෙලි කලාව විකාරරූපී මගකට යොමුවෙලා, ඒ ගැන ඔබේ මතය..?

මම මෙගා ටෙලි කලාව හරහා පැමිණි නිළියක්. එදා ඒ මෙගා කලාවේ හොඳ කොලිටි එකක් තිබුණා. ලස්සන පිටපත් තිබුණා. සුන්දර රූප රාමු සමග කලාත්මක සැලැස්මක් තිබුණා. අද ඒ කිසිවක්ම නැහැ. මගේ මතය නම්, ටීවී එක දිහා බලන්නවත් නොහිතෙන තරමට අද ටෙලි කලාව සීසීකඩ විසිර ගිය අපැහැදිලි චිත්‍රයක් වාගේ ඇත්තටම හරිම කනගාටුයි.

image 490

ඔබට ප්‍රිය කරන පාඨකයනට කියන්නට පණිවුඩයක්…?

බලාපොරොත්තුව ඉන්නවා… ලස්සන නිර්මාණයකින් නැවැත මගේ ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නට… මම ඉක්මනින්ම එනවා කියන ඔවුනට කියන්නේ ලොකු සතුටකින්.

image 491
image 492
image 483

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Source – Mawrata

Photos – Internet




Leave a Reply

Your email address will not be published.