බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනූ රංගන ශිල්පිනි ශලනි තාරකා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම නමුත් වසර ගණනාවක් සම්මාන උළෙලවල් ගණනාවක ජනප්‍රියම නිළිය සම්මානය දිනාගන්නට ඇයට හැකි වෙනවා. නමුත් මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය නම් ඇගෙන් ගිලිහෙනවා. ඒ සමඟම බොහෝ දෙනා මේ ගැන විවිධ කතිකා ඇති කරගන්නා අතරම ඒ ගැන පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඇයද අදහස් පළකර තිබෙනු දක්නට ලැබුණා. මේ එහි උපුටා ගැනීමකි.
මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වෙනුවෙන් ඔබට sms කරන්න එපා කියලා කිව්වෙ ඇයි?
”මට මනාපය පළ කරලා SMS එවන්න එපා කියලා මගේ රසිකයන්ගෙන් ඉල්ලුවා වගේම සුමති සම්මාන උළෙලෙ සංවිධායකයන්ගෙනුත් මම ඉල්ලුවා මාව ජනප්‍රිය නිළියට හිමි සම්මාන කාණ්ඩයෙන් අයින් කරන්න කියලා…. එහෙම කළේ මට දැන් ජනප්‍රිය නිළිය කියන කාණ්ඩයෙන් සම්මාන අවශ්‍ය නැති නිසා. කාලයක් තිබුණා ජනප්‍රියම නිළිය විදිහට සම්මාන ලබන්න හීන දැකපු. ඒ හීන මම සැබෑ කරගත්තා……. සම්මාන උළෙලෙවල් කීපයකදීම මම ජනප්‍රිය නිළිය විදිහට නිර්දේශ වුණා වගේම සම්මානත් ලබා ගත්තා. දැන් මට ජනප්‍රිය කාණ්ඩයෙන් සම්මාන අවශ්‍ය නැහැ…
ඒ වගේම තවත් රංගන ශිල්පිනියකට ඉදිරියට එන්න අවස්ථාව ලබාදෙන්න ඕනයි කියන අදහසේ ඉඳගෙනයි මම ජනප්‍රිය සම්මාන කාණ්ඩයෙන් ඉවත් වෙන්න තීරණය කළේ. මමම හැමදාම ජනප්‍රිය නිළිය විදිහට ක්ෂේත්රයේ වැජඹෙන්න ඕන කියලා අදහසක් මගේ හිතේ නැහැ. තවත් රංගන ශිල්පිනියක් ඉදිරියට ඇවිත් ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා දකින්න මම කැමතියි….”
තවත් රංගන ශිල්පිනියක් ඉස්සරහට ආවාම ඔබේ තැන නැති වෙයි කියලා බය නැද්ද?
”ඇයි බය වෙන්නෙ? මම මගේ හැකියාව විශ්වාස කරනවා…. මට තරගය තියෙන්නෙ මාත් එක්කම මිසක් අනිත් රංගන ශිල්පිනියන් එක්ක නෙවෙයි. ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට අනෙක් අය අතර ඉදිරියෙන් ඉන්නවට වඩා මට දැන් ඕන රංගනයේ වෙනස් ශානරයන් සොයාගෙන ගිහින් හැමෝටම දැනෙන අලුත් වෙනසක් කරන්න…”
ඒ විදිහට වෙනස් රංගනයක් ඉදිරිපත් කරපු ටෙලි නාට්‍යයක් එන්නේ කවදාද?
”පෙබරවාරි මාසයේ ඉඳලා ස්වර්ණවාහිනී නාළිකාවෙ විකාශය වන අක්ෂි ටෙලි නාට්‍යය කියන්නෙත් මගේ රංගන ජීවිතයේ වෙනස් අත්දැකීමක් කිව්වොත් හරි. කොල්ලෙක් වගේ අඳින පලඳින, හැසිරෙන, කතාබහ කරන, වත්තක ජීවත්වෙන කෙල්ලෙක්ගෙ චරිතයක් තමයි මම අක්ෂි වල රඟපාන්නෙ. හරියට කිව්වොත් කොලු භාගයකගෙ චරිතයක් ඒක…”