උණුසුම් පුවත්
Search
dilki uresha

”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා

196

‘සත්තයි මට ඔබ වාගේ’ ගීතයට පෙම් බැඳි සියලු දෙනාම ඒ ආදරණීය හඬෙහි උරුමක්කාරියටත් අඩුවක් නැතිව ආදරය කරනවා. ඇය නමින් නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන දිල්කි උරේෂායි.

හඳපානේ, ඇහැළිය මල, මගෙන් දුර වැනි ගීත වලට ලයාන්විතව පණ පොවන දිල්කි ප්‍රසංග වේදිකාවටත් නැතිවම බැරි චරිතයක්. ඇගේ හඬ ආදරණීයයි. තවත් අවස්ථාවක සංවේදියි. ඒ වගේම ලයාන්විතයි. ඒ නිසාම එදා වගේම අදත් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරනවා. ඇය ගැන වගේම ඇගේ හඬ ගැන කතා වෙනවා.

image 185

පහුගිය දවසක දිල්කි ඇගේ පෙම්වතාත් එක්ක පැරීසියේ සවාරියක් ගිහින් අයිෆල් කුලුන ඉදිරිපිටදී ගත්ත ආදරණීය ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. ඒ ඡායාරූපය පළවීමත් සමග ඇය ගැන වන කතාබහ අලුත් වෙමින් නැවතත් කරළියට පැමිනුණා. දිල්කි ලංකාව හැර ගිහින් කියලාත් කතාවක් සමාජ මාධ්‍ය වල පළ වුණා. දිල්කි උරේෂා කියන්නේ සමාජ මාධ්‍ය තුළත් අතිශයින් ජනප්‍රියත්වයට පත් චරිතයක්.

image 186

ඉතින් ලංකාව හැර ගියා කියන කතාව ගැන වගේම පැරිස් ගමන ගැනත්, ඉදිරි සංගීත වැඩ කටයුතු ගැනත් දැනගන්න පිනිපලස දිල්කි එක්ක කළ කතාබහක් තමයි මේ.

image 181

“ඇත්තටම මම ලංකාව අතහැරලා ගියේ නෑ. රටේ තියෙන වාතාවරණයත් එක්ක පුංචි වෙනසක් කළා නම් හොඳයි කියලා හිතුණා. ඒ නිසා පිටරටකට ගිහින් එන්න තීරණය කළා…. පැරිසිය තමයි තෝරාගත්තේ. ඇත්තටම ඒ ගමන ගියේ අපේ රට ගැන කලකිරිලා නෙවෙයි. මානසික නිදහස වෙනුවෙන් තමයි පැරීසියට ගිහින් ආවේ. ඒ ගමන හරිම විනෝදජනකයි. අලුත් අත්දැකීම් රාශියක් ලබා ගන්න හැකි වුණා. ඒ වගේම උපරිමයෙන් සතුටු වුණා. නැවතත් සංගීත කටයුතු කරන්න පැරිස් ගමන අලුත් බලාපොරොත්තුවක් එකතු කළා.”

image 184

පැරීසියේ ගමනේ අත්දැකීම් විස්තර කරමින්ම දිල්කි කතාව පටන් ගත්තා. රට තුළ පවතින තත්ත්වයත් සමග මේ දිනවල සංගීත ප්‍රසංග සඳහාත් ආරාධනා ලැබෙන්නේ අඩුවෙන් කියන එක රහසක් නෙවෙයි. ඒ නිසාම පැරිස් ගමනින් පස්සේ කාර්ය බහුලත්වයෙන් මිදිලා නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා කියලාත් දිල්කි අපිට කිව්වා.

image 182

මේ දවස්වල නිදහසේ ගෙදරට වෙලා කාලය ගත කළත්, දිල්කිගේ අලුත්ම ගීත නිර්මාණය ලස්සන රූප රචනාවකුත් එක්ක එළිදක්වන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි අපිට ආරංචිය ලැබුණේ. ඒ ගැනත් දිල්කිගෙන් අහන්න අපි අමතක කළේ නැහැ.

image 183

“අලුත් ගීත කිහිපයක්ම දැනට කරලා තියෙනවා. ඒ අතරින් එක නිර්මාණයක් ළඟදීම මගේ ආදරණීය රසිකයන්ට තිළිණ කරන්න සූදානම් වෙනවා. ‘හදවතට එකඟව’ තමයි මගේ අලුත්ම නිර්මාණයේ නම. අනෙක් ගීත වලට වඩා වෙනස් විදිහේ ලස්සන හොඳ අත්දැකීමක් වේවි කියල මම හිතනවා. මම මොන ගීතය ගායනා කළත් ඒ හැම ගීතයක්ම අතිශය ආදරයට පාත්‍ර වුණා. ඒක මට දෙවියෝ දුන්න ආශිර්වාදය නිසා වගේම මගේ රසිකයන්ගේ ආශිර්වාදය සහ ආදරය නිසා මට ලැබුණ දෙයක්. ඉතින් මේ අලුත් අත්දැකීම බෙදා ගන්නත් මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරණීය රසිකයන්ට ආරාධනා කරනවා.”

image 179

“මම පුංචි කාලයේ ඉඳලම සංගීතයට කැමතියි. අම්මලා කියන විදියට මම බහ තෝරන කාලේ ඉඳලා වචන අහුලගෙන සින්දු කියලා තියෙනවා. මගේ හැකියාවන් දියුණු කර ගන්න ගෙදරින් මාව ඒ පැත්තටම උනන්දු කළා. එහෙම තමයි ගායිකාවක් වුණ ගමනේ පටන්ගැන්ම. මුලින්ම මම තේමා ගීත ගායනා කළා. ඊට පස්සේ මගේම ගීත කිහිපයකුත් කළා. ඒ විදිහට තමයි දිල්කි උරේෂා ගායිකාවක් බවට පත් වුණේ.”

image 180

“මගේම උත්සාහයෙන් මහන්සියෙන් තමයි මේ ගමන ආරම්භ කළේ. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වගේ කාලයක් ගතවෙලා. මගේ ගමන නවත්තන්න ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. මේ අවුරුදු පහක ගමන ඇතුළේ බාධක සෑහෙන්න තිබුණා. අදටත් ඒවගේ අඩුවක් නෑ. නමුත් මගේ උත්සාහය අත් හරින්න මම කොතැනකදීවත් තීරණයක් ගත්තේ නෑ. අදටත් එන හැම අභියෝගයකටම මුහුණ දෙමින් මගේ ගමන මම හෙමීට යනවා. කවුරුවත් පරද්දන්නවත්, ඉක්මනින් ජනප්‍රිය වෙන්නවත්, කාගෙවත් අවස්ථාවක් නැති කරන්නවත් මට වුවමනාවක් නැහැ.”

image 177

බොහෝ ජනප්‍රිය චරිත ගැන වගේම දිල්කි උරේෂා ගැනත් සමාජ මාධ්‍යවල නිතර නිතර තොරතුරු හුවමාරු වෙනවා. ඇය ගැන අගය කරන පිරිසක් වගේම ඇයව ප්‍රතික්ෂේප කරන පිරිසකුත් ඉන්නවා. මුල් කාලයේදී එවැනි ප්‍රතිචාර වලට හිත රිදුණත් දැන් ඒ දේවල් ගණන් ගන්නේ නෑ කියලත් දිල්කි අපිට කිව්වා.

image 178

“ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක්. මේ ලෝකයේ හැම කෙනෙක්ටම ආදරය අවශ්‍යයි. මටත් ඒ ආදරය වගේම රසිකයන්ගේ ආදරය අඩුවක් නැතිව ලැබෙනවා. ඒ නිසා සමහරු කියන හිත් රිදෙන කතා මම දැන් ගණන් ගන්නේ නෑ. කාටවත් වැරැද්දක් නොකර මගේ පාඩුවේ හෙමීට මම මගේ ගමන යනවා.”

නිරෝශා වාසල




Leave a Reply

Your email address will not be published.