උණුසුම් පුවත්
Search
palath sabha

පළාත් සභා වල උසස් නිලධාරීන් රුපියල් කෝටි 27ක් ගිලියි

158

විසුරුවා හැර තිබෙන පළාත් සභා වල ආණ්ඩුකාරවරු නොමග යවමින් පළාත් සභා වල උසස් නිලධාරීන් ඉකුත් වසර තුනේදී රුපියල් කෝටි 27කට අධික දීමනා ලබාගෙන ඇතැයි රාජ්‍ය විගණනයේ දී හෙළි වී තිබේ.

රජයේ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙයාකාරයට ඉන්ධන, නිවාස කුලී හා වෙනත් විවිධ දීමනා ලෙස මෙතරම් මුදල් ප්‍රමාණයක් වැයකර ඇත්තේ ලබාදී තිබෙන දීමනා වලට අමතරව බව ද හෙළි වී ඇත.

පළාත් සභා විසුරුවා හැර මේ වනවිට වසර 03කට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර ඇතැම් පළාත් සභා වල උසස් නිලධාරීන් තමන්ට අභිමත පරිදි වරප්‍රසාද ලබාගනිමින් සිටින බව ද විගණන වාර්තා මගින් දිගින් දිගටම රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලට දැනුම්දී තිබේ.

මීට අමතරව රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ නොතකමින් විශ්‍රාම ගිය නිලධාරීන්ට යළි තනතුරු ලබාදෙමින් කටයුතු කිරීම නිසා විශ්‍රාමිකයන් දෙවරක් රජයෙන් වැටුප් ලබාගන්නා බව ද හෙළිකර ඇත.

පළාත් සභා සම්බන්ධව වහා සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක හට උපදෙස් දී තිබියදීත් පෙර පරිදිම පළාත් සභා වල ඇතැම් පළාත් ලේකම්වරු, ඇතැම් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, කොමසාරිස්වරු ඇතුළු නිලධාරීන් ඉන්ධන ඇතුළු දීමනා සඳහා විශාල ලෙස මුදල් වැය කරමින් කටයුතු කරන බව විගණන විමසුම් මගින් පෙන්වා දී ඇතැයි රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

Source – Divaina