පසුගිය නොවැම්බර් 01 වනදා අපේ රටේ බොහෝ දෙනෙකු ආදරය කළ සහ අදටත් ආදරය කරන රංගන ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ මහතාගේ මෙල්බර්න් නිවස දැවී ගිය බව වාර්තා වුණා.
ඒ සිදුවීමත් සමඟ බොහෝ දෙනෙකු කම්පනයට පත් වුණා.
එම සිදුවීමෙන් අනතුරුව ඔහු සිය මුහුණු පොතට සංවේදී සටහනක් එක්කර තිබුණේ අවසානයේ ප්‍රේක්ෂකයින්ගෙන් ආදරණීය ඉල්ලීමක් ද කරමිනුයි.

එම සටහන පහතින්.
”බිදෙන්නෙ නැති, රිදෙන්නෙ නැති, එපා වෙන්නෙ නැති යාලුකම ජීවිතේට ලොකු හයියක්. හිතට ලොකු සැනසීමක්. ඒක මම හොඳටම අත්දැක්කේ ඔක්තෝබර් 29 සෙනසුරාදා එපින්, ගලාඩා කොමියුනිටියේ මගේ ජීවිතයේ ලොකුම හීනයක් එළිකරගන්න මහා පවුරක් වගේ මාත් එක්ක හිටගත්තු යාලු මිත්‍රයෝ නිසා.
ඒ යාලුවො නොසිටියා නම් මම කොහොමද මේ අඩව්ව අල්ලන්නෙ. මට ඒක හීනයක්. මගේ හීනය හෙලිකරගන්න දුන්න බොක්ක නම් සදා මතකයි. මම සේරම ඉවර වුනාට පස්සෙ කල්පනා කලේ මෙහෙම යාලුවො ලබන්න මං කොච්චර පිං කරල තියෙනවද කියලයි. ඇත්තටම ඒවා පෙර පිංම තමයි. ඒත් මොහොතින් මොහොත කුමකින් කුමක් වෙයිද කියල හිතිගන්න බැරි ජීවිතේ රෝලර් කොස්ටර් එකක් වගෙයි කියල මම දැනගෙන හිටියා. 29 වෙනිදා උඩම තිබුණු මගේ ජීවිතේ ඊට පැය 48 කට විතර පස්සෙ ඔක් 31 වෙනිදා ඉර බහින්න මාන බලන වෙලාවෙ බිමට පාත් වුනා.

පැයක් වගේ කාලයකින් අහම්බ සිද්ධියක් නිසා මගේ මුළු ගෙදරම අළු වුනා. ඒ අළු වුන මගේ භෞතික වත්කම් ගැන මට දුකක් නෑ. ඒත් මගේ කලා දිවියේ සියලු මතක ඒ අතරේ අළු වුනා. ඒක තමයි දරාගන්නම බැරි කම්පනය.
ගෙය ගිනිගන්න වෙලාවේ මගේ මිත්‍ර අජිත් මෙන්ඩිස් ගේ ඇතුලේ හිටියා. ඒත් ඔහුගේ ජීවිතය සුරක්ෂිත වුනා. අපි නොහිටියත් අහල පහල අය අපේ බලු පැටියගේ ජීවිතෙත් ආරක්ෂා කළා. අවුරුදු 11 වුනු මගේ ජිවිතය වන් දියණිය හැලොවින් දවස නිසා යාලුවොත් එක්ක හිටියේ නිවසින් පිට. මගේ පළවෙනි සැනසීම ජීවිත සුරක්ෂිත වීමයි.

මේ ගැන ආරංචි වුනු ගමන් මගේ යාලු මිත්‍රයෝ පවුල් පිටින් ඇවිත් ගිනි ගන්න ගේ පේන දුරින් රොද බැඳ ගත්තා. ගිනි නිවන හමුදාවට ගින්න නිවන්න පුළුවන් වුනත් අපිට ඉතුරු වුනේ ඇඳිවත විතරයි. ආපු යාලුවො සේරම කිව්වේ ෆීනික්ස් පක්‍ෂියා වගේ ආපහු නැගිටිමු කියලයි. දෙනෙත් තෙමාගෙන ගලාපු කඳුළු හදවතේ ගල්වුනා. අපිට යන එන මං නැද්ද කියල හිතනකොට මගේ ආසන්නම අසල්වැසියා වුණු සංගීතවේදි රෝහණ ධර්මකීර්තිගේ නැගණිය ප්‍රමිලා ධර්මකීර්ති සහ උපාලි සෙනරත් අපිව ඔවුන්ගේ නිවසට කැඳවාගෙන ගොස් ඔවුන්ගේ දරු දෙදෙනා වෙනත් නිවසකට පිටත් කර අපිට නිවසේ සියලු පහසුකම් සලසා දුන්නා.
රෑ වෙනකොට උපාලිගෙයි ප්‍රමිලගෙයි ගෙදර, මගෙයි ශ්‍රියානිගෙයි යාලු මිත්‍රයන්ගෙන් පිරුණා. පහුවදා උදේ පාන්දර 3 විතර වෙනකං යාලුවො ආවා ගියා. ඇති පදං කෑම බිම ගෙනාවා. ඇඳිවත් විතරක් තිබුණු අපිට ගේ පිරෙන්න ඇඳුම් අරගෙන ආවා. මට දැනුනා මම වපුරල තිබුණු මනුස්සකමේ අස්වැන්න තමයි මම මේ නෙලන්නෙ කියලා. තවමත් යාලුවන්ගෙන් ප්‍රමිලලාගේ ගේ පිරිලා. එයාලට වෙන වැඩක් නෑ. එන එන අයට තේ හදන්නවා. කන්න බොන්න දෙනවා. අපේ මානසිකත්වය ගැනත් හොයා බලනවා. යාලුවො අපිට උදව් කරන්න පුළුවන් ක්‍රම හොයනවා. සාකච්ජා කරනවා. ඒ ගමන් අපේ හිතුත් හදනවා. අපිට කැම ගෙන්න රොස්ටස් හදනවා. හැමෝම කියන්නෙ නැගිටිමු නැගිටිමු නැගිටිමු නැගිටිමු කියලයි.

ඒ අතරේ ලංකාවේ දන්න නොදන්න බොහොම දෙනෙක්ගේ දිරි වදන් වලින් මගේ මුහුණු පොත පිරිලා. මම තනිවෙලා නැහැ කියන සුබවාදි හැඟීම මට නැගිටින්න මහා ශක්තියක්. හුන්නස්ගිරි කන්ද වගේ ඒ ශක්තිය මට හයියක් වෙලා. මෙහෙම ලෙන්ගතු යාලුවෝයි, හෘද බන්ධනීය නාඳුනන්නොයි ලබන්න මං පිං පුරා ඇති බව දැනුනේ මේ ගිනි ජාලාවේ උණුසුම මැකෙන්නත් කලිනුයි. මාව දිරිමත් කරපු හැමෝටම අනේක වාරයක් පිං තවත් පුංචි ඉල්ලීමක් තියෙනවා. මං ගැන සඳහන් පත්තර වාර්තා හරි මොනයම් මතකයන් හරි ඔබ සතුව තියෙනව නම් මගේ මුහුණු පොතට දාන්න. නැතිනං මම නම් කරන කෙනෙකට ලැබෙන්න සලස්වන්න. එතකොට මගේ නැතිවුණු අතීත මතක ආපහු ගොනුවෙයි. ඒක නම් පිනක්. ඔබත් ඒ පිනේ කොනක ඉදිවී කියල විශ්වාස කරනවා.
මං ශ්‍රීනාත් මද්දුමගේ.”
