උණුසුම් පුවත්
Search
anusha

”එයා කැමැති වෙලාවක එයි, අපි ආදරෙන් බලන් ඉන්නවා” – අනුෂා දමයන්ති

582

සුන්දරත්වයෙන් පිරිපුන්, නිහතමානී, දක්ෂ රංගන ශිල්පිනියක් සහ නර්තනයේ කිරුළු පලන් රැජින ලෙසින් ප්‍රේක්‍ෂක ආදරයට ලක්වන ඇය යුග දිවියට පිවිස ජීවිතයේ සොදුරුතම කාලය පසු කරමින් සිටියි. ඇය නමින් අනූෂා දමයන්තිය. මේ කතාබහ ඇය සමඟයි.

ඉතිං කොහොමද මේ දවස්වල තොරතුරු?

සුපුරුදු පරිදි ජීවිතය අලුත් වෙලා තිබෙනවා. දැන් ඉතින් මම විවාහ වෙලානෙ. මේ ජීවිතේ ලස්සනයි. අලුත් ජීවිතයක්. අලුත් ගෙදරක, හැම දේම අලුත් විධියට. සතුටින් ඉන්නවා……

image 124

ඔබේ ජීවිතයේ අලුත් වෙනස, ඔබේ සහකරු පිළිබඳව පැවැසුවොත්?

ඔහු ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාර කිහිපයකම හිමිකරුවෙක්. ගොඩගම ප්‍රදේශයේ තමයි ඔහු ජීවත් වන්නේ. ඔහු ජාත්‍යන්තර කායවර්ධන විනිසුරුවරයෙක් ලෙසිනුත් කටයුතු කරනවා. අපි අම්මයි, තාත්තයි, මල්ලියි එක්ක ජීවත් වෙන්නෙ.

ඔබ දෙදෙනාගේ ප්‍රේමයට වසර 14ක් වෙනවා. ඔබ දෙපළ මෙතරම් කාලයක් හොඳින් ආදරය රැකගෙන යෑමේ රහස කුමක්ද?

අප දෙදෙනාගේම හදවත්වලට දැනුණු ප්‍රථම ප්‍රේමය මෙයයි. අපි දෙන්නට දෙන්නා ගෞරවනීය විශ්වාසයක් ඇතිව ජීවත් වුණා…. හොඳ අවබෝධයකින්, විශ්වාසයකින් ආදරය කළා. ඒ ආදරය තමයි මේ මල් පල ගැන්වූයේ.

image 122

කෙසේද ඔබට ඔහුව මුණ ගැසෙන්නේ?

ඔහු මගේ රසිකයෙක්. 2018 Dancing star සඳහා සුබපැතූ රසිකයෙක්. ඔහු දිගටම මට කතා කළා, මැසේජ් කළා. ඒ තුළ සුවිශේෂී බවක් තිබුණා. මම එය හදුන ගත්තා. කලකින් එය ආදරයක් බවට පත්වූවා. මම ක්ෂේත්‍රයට ඔහුව හදුන්වා දුන්නේ නැහැ. ඔහු එය අවබෝධ කරගත්තා. සියල්ල අවසානයේ හොඳ විවාහයකින් අපේ ප්‍රේමය කෙළවර වූවා….

image 123

ඔබේ මව සුවිශේෂී චරිතයක්. ඔබ වෙනුවෙන්ම කැප වූ අයෙක්. මේ පිළිබඳව කතා කළොත්….?

මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ ඉතා කුඩා අවධියේදීයි. පාසල් යන කාලයේදීයි. ඇය මාව අතින් අල්ලගෙන තමයි කලා ලෝකයට ගෙන ආවේ. අද වන තුරු ඒ අත අත්හැරියේ නැහැ. ඇගේ ඇස්පිල්ලමක් ගැහෙන හැම මොහොතකම ඒ ඇස් ඉදිරිපිට මම හිටියා. අද සිනමා නිළියක් විධියටත් නර්තන රැජිනක් ලෙසටත් කිරුළු පලන් මට, මගේ යෝධ ශක්තිය වූයේ අම්මා. ඒ තරම්ම, හැම තත්පරයකදීම මාව බලාගත්තු කෙනෙක් මම දැකල නෑ. ඇය තමයි මගේ ලෝකයේ වීරවරිය. රැජින.

image 125

සෑම රංගන ශිල්පිනියකටම හොඳ නර්තන ශිල්පිනියක් විය නොහැකියි. ඒ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

නර්තනය කියන දේ මගේ ඇඟේ ලේ වලම තිබූ දෙයක්. නර්තනයට මගේ පවුලට ආධුනික නැහැ. මගේ පියා දැවැන්ත කලාකාරයෙක්. කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූවෙක්. වේදිකා නාට්‍ය 32ක් නිෂ්පාදනය කළ, භරත නැටුම් අධ්‍යක්ෂණය කළ, ”ශ්‍රී දෙව්දත්” නමින් කලායතනයක් පවත්වා ගෙනගිය කෙනකුයි ඔහු. මගේ මවත් හොඳ රංගන ශිල්පිනියක්. වේදිකා නිළියක්. ඇය පළමු සම්මානය ලබාගනු ලැබූයේ ඇයට වයස අවුරුදු 7දී පමණ. මගේ මව නැටුම් 72කින් ලංකාවෙන් පළමු ස්ථානය ලබාගත් කෙනෙක්. මට එය ජන්මයෙන්ම උරුම වූ දෙයක්.

image 120

නර්තන ශිල්පිනියක් විදිහට ඔබ ලැබූ ජයග්‍රහණ මොනවාද?

1999 Pacific Asia Bridal එක දිනනවා රටවල් 24කින්. මම නියෝජනය කරන රට තායිලන්තය බැවින් එහි ජයග්‍රහණය එන්නේ තායිලන්තයට. 2001 නැඟී ගෙන එන හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානයද, සරසවි සම්මානයද, 2007දී සරසවි සම්මානයද හිමි කරගන්නවා. 2011 ස්වර්ණවාහිනි නර්තන රැජින යන සම්මානය ද හිමි වන අතර 2016, 2017 වසර වල දී දෙරණ ඩාන්සින් ස්ටාර් හි ජයග්‍රහණය ලබනවා.

image 116

ඔබ වැඩිපුර දක්නට ලැබෙන්නේ සිනමාවේ. ටෙලි නාට්‍යය විෂයෙහි වැඩි උනන්දුවක් නැතිද?

ඔව්. සිනමාව තමයි මම කැමැතිම විෂයය….. දැනට රංගනයෙන් දායක වූ චිත්‍රපට 7ක් පමණ තිරගත වීමට නියමිතයි. මුල් කාලයේ ටෙලි නාට්‍ය සඳහා දායක වූයේ අඩුවෙන්. Covid තත්ත්වයෙන් පසු මම ටෙලි නාට්‍ය කිහිපයකට ද සම්බන්ධ වූවා.

අසිරිමත් දළදා ගමන මේ දිනවල විකාශය වෙමින් පවතින ටෙලි නාට්‍යයක්. කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ඇත්තටම හොඳයි. දළදා හාමුදුරුවන් ප්‍රවේසම් කර ගන්නා නාග ලෝකයේ පිදුම් ලබන නාග රැජිනගේ චරිතයටයි පණ පොවන්නෙ. හොඳ ඉතිහාසයක් පිළිබඳව කතා කෙරෙන ටෙලි නාට්‍යයක්.

image 117

ඔබ ඉතා නිහතමානී චරිතයක් බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ. ඒ පිළිබඳව ඔබේ අදහස?

ජීවත් වන පරිසරය හරිම වැදගත් කියල මට හිතෙනවා ඒ හැමදෙයටම. හොඳ ගතිගුණ, හොඳ සිතුවිලි, හොඳ අදහස් මට ආවේ මගේ අම්ම තාත්තගෙන්. පොඩි කාලේ ඉඳන්ම මම දැක්ක දෙයයි මම අනුගමනය කරන්නේ.

ඔබ බුදු දහමට බොහෝ නැඹුරුතාවක් දක්වනවා නේද?

මම ජීවිතය දිහා බැලුවේ සහ හැඩගැසුණේ බුදු දහමට අනුවයි. සංස්කෘතියට හා සොබාදහමට අදාළ වූ පොත්පත් තුළ මම යමක් දුටුවා. එය තේරුම් ගෙන ජීවත් වීම තුළින් සොබාදහමේ පිහිට අත්වින්ද කෙනෙක් මම. බුද්ධාගමට නැඹුරු වීම මගේ ජීවිතයේ හොඳ හික්මීමක් ඇති කළ තැනක්. ජීවිතය හොඳින් දකින්නට හොඳ පන්නරයක් ලැබූ තැනක්…..

image 118

ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් හට ගරු කිරීම ඔබ තුළින් දුටුව දෙයක්. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

මම ඔවුන්ව දකින්නේ දෙවියන්ගෙන් බොහෝ තෑගි ලැබූ සුවිශේෂී පුද්ගලයන් ලෙසිනුයි. කලා ලොවේ විශිෂ්ටයන් වන ඔවුන් මහන්සි වී සෑදූ වෘක්ෂයේ අතු පතරයි අප රැඳී සිටිනුයේ. ඉතින් මම නිරන්තරවම ස්තූතිවන්ත වෙනවා ඔවුන් හට. ඒ වගේම මම හරිම ආදරෙයි.

image 115

ජීවිතයේ අලුත් බලාපොරොත්තු මොනවද?

මම බලාපොරොත්තුවෙන් ඉන්නවා නර්තන ප්‍රසංගයක් කරන්න. කලක් තිස්සේ බලා සිටි දෙයක් එය. ඒවගේම විවාහයෙන් පසු සර්ව සම්පූර්ණ වෙන්න තවත් දේවල් තියෙනවා ජීවිතයේ. මම හිතනවා කාලයත් එක්කම ඒ සියල්ලන් හොඳින් සිදු වේවි කියලා.

ඔබේ කැදැල්ලට ඉක්මනින් අලුත් අමුත්තෙක් බලාපොරොත්තු වෙනවද?

මම ඉතා නිදහසේ ඉන්නවා. සංසාර ගමනෙහි කොයි විධියට කොයි වෙලාවෙද එයා එන්නෙ කියල මම දන්නේ නෑ. එයා කැමැති වෙලාවක එයි. අපි දෙන්නම ආදරෙන් බලන් ඉන්නවා එයා එනතුරු.

මෙම වෘත්තියට අලුතින් එක් වන අයකුට කියන්නට දෙයක් ඇති ඔබට…..

කලාකරුවෙක් වෙනවා කියන්නේ දෙවියන්ට පසුව පිදුම් ලබන කාරණාවක්. එයට අපි බොහෝ ආදරය කරන්න ඕන. ගෞරව කරන්න ඕන. කැපකිරීමෙන්, උත්සාහයෙන්, උනන්දුවෙන් තමන්ගේ සහ වෘත්තීය ගෞරවය රැකගෙන හැසිරෙන්න ඕන. එවිට සියල්ල ඔබට ලැබේවි.

image 119

තනුජා සුභාෂිණී සිරිවර්ධන

Source – Hadagasma