රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් තමන්ට හිමි නිල නිවස, වාහන ඇතුළු අනෙකුත් සියලු දීමනා ලබා නොගෙන ආපසු භාරදීමට කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ කටයුතු කර ඇත.
රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් ඇයට සුඛෝපභෝගී වාහන 05ක් ලැබුණු අතර රාජකාරි කටයුතු සඳහා එක් වාහනයක් පමණක් ලබාගෙන අනෙක් වාහන 04 ආපසු භාර දීමට ඇය විසින් පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ කියා සිටියේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් තිබිය දී රාජ්‍ය දේපළ මේ ආකාරයට පරිහරණය කිරීම නතර කළ යුතු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද පැවසුවාය.
”රාජ්‍ය ඇමැති ධුරය සඳහා මට නිල නිවසක්, වාහන 5 ක්, දුරකථන බිල්පත් ඇතුළු තවත් දීමනා රාශියක් අනුමත කර තිබෙනවා. රටේ මිනිස්සු වේලක් කන්න නැතිව දුක් විඳින මොහොතක අපි අනවශ්‍ය වියදම් කපාහැරලා මේ තත්ත්වයෙන් මිදෙන්න රජයට සහාය වෙන්න ඕනේ……
මට මගේ නිවස තිබෙනවා. මගේ වාහන තිබෙනවා. ඒ වගේම මම වෙනදා විදිහට ටෙලිෆෝන් බිල් වගේම අනෙකුත් වියදම් කර ගන්නවා. මම ගන්නේ රුපියල් 54,000ක මන්ත්‍රී වැටුප පමණයි. රට වැටිලා තියෙන වෙලාවේ රාජ්‍ය දේපළ මේ විදිහට නාස්ති කරන එක බරපතළ අපරාධයක්…..
මම අනෙක් සහෝදර මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ අනවශ්‍ය වියදම් අඩු කරලා රට ගොඩගන්න උදව් කරන්න කියලා. මේක මම කරන්නේ කාගෙන්වත් ලකුණු දාගන්නවත්, හොඳ නම ගන්නවත් නෙවෙයි….. මම මේ කැපකිරීම් කරන්නේ හදවතින්මයි…..
අපි දේශපාලනඥයන්ට වගේම නිලධාරීන්ටත් ආදර්ශවත් වෙන්න ඕනෑ….” යැයි කියා සිටියා.