මෙම වර්ෂයේ (2022) මුල් කාර්තුවේ දී නිමි තේ කිලෝ ග්‍රෑම් මිලියන 04ක පමණ නිෂ්පාදනය අඩු වී ඇතැයි ද ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 73ක පමණ ආදායමක් මෙරටට අහිමි වී ඇතැයි ද පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් පවසනවා.
රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බවත් කිලෝ 50 තේ පොහොර කොට්ටයක මිල රුපියල් විසිදහසත් තිස් දහසත් අතරේ පවතින බවත් ඔහු සඳහන් කරයි.
පොහොර මිල වැඩිවීම, තේ වතු හිමියන්ට දරාගත නොහැකි බවත් මෙම තත්ත්වය නිසා තේ වතු හිමියන්ගෙන් විශාල පිරිසක් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව ඇති බවත් හෙතෙම පවසයි.
මේ නිසා අමු තේ දලු නිෂ්පාදනය මෙන්ම තේ දලු වල ප්‍රමිතිය ද අඩු වී ඇති බව ද තේ කර්මාන්තශාලා හිමියන්ගේ සභාපතිවරයා පවසයි.
අපේ රටේ නිමි තේ නිෂ්පාදනය දිගින් දිගටම අඩුවුවහොත් තේ නිෂ්පාදනය කරනු ලබන වෙනත් රටවල් අපිට හිමි ලෝක තේ වෙළෙඳපොළ අල්ලා ගැනීමේ අවදානමක් පවතින බව ද ඔහු කියා සිටියි.
එසේම පවතින ඉන්ධන අර්බුදය ද තේ කම්හල් සඳහා දැඩි ලෙස බලපා ඇති බව ද ප්‍රවාහනයේ දී මෙන්ම අමු දර සැපයීමේ දී ද මෙය තේ කම්හල්හිමියන්ට දැඩි ලෙස බලපා ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
අමු තේ දලු සඳහා ඉහළ මිලක් මේ වන විට ලැබී ඇතත් නිෂ්පාදන මිල වැඩි වී ඇති බව පවසන තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මේ නිසා කඩනමින් සහනදායී මිලකට තේ පොහොර ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
ලලිත් චාමින්ද