උණුසුම් පුවත්
Search
scam

ගගනගාමියෙක් ලෙස පෙනී සිටිමින් කාන්තාවක් රවටා ඩොලර් 41,000ක් වංචා කරයි

151

තමන් රුසියානු ගගනගාමියෙකු යැයි හඳුන්වමින් නැවත පෘථිවියට පැමිණීමට රොකට් එකක් ගැනීම සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් පුද්ගලයෙක් විසින් 65 හැවිරිදි ජපන් කාන්තාවක් රවටා මුදල් ලබාගෙන ඇති බව ජපන් පොලිසිය වාර්තා කරයි.

ජපානයේ ෂිගා ප්‍රාන්ත පොලිසිය කියා සිටියේ Higashiomi නගරයේ පදිංචි මෙම කාන්තාව මාස කිහිපයක් පුරා යෙන් මිලියන 4.4 ක් (ඇමරිකානු ඩොලර් 41,340 ක් පමණ) වංචාකාරයාට එවා ඇති බවයි.

මෙම පුද්ගලයා පසු ගිය ජුනි මාසයේදී Instagram හරහා හඳුනා ගත් බවත් තමන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කරන ගගනගාමියෙක් බව ප්‍රකාශ කර ඇති බව එම කාන්තාව විසින් පොලිසියට පවසා ඇත.

ජපන් රූපවාහිනී නාලිකාවක් වන TV Asahi කියා සිටියේ වංචාකාරයාගේ Instagram ගිණුමේ අභ්‍යවකාශයේ සිට ගත් ඡායාරූප කිහිපයක්ද ඇති බවයි.

Line ඇප් එක හරහා මෙම කාන්තාව සමඟ තව දුරටත් පණිවිඩ හුවමාරු කරගත් ගගනගාමීයා පවසා ඇත්තේ තමා ඇයට ආදරය කරන අතර ඇය සමඟ ජපානයේ අළුත් ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය බවත් ඇයව විවාහ කර ගැනීම සඳහා නැවත පෘථිවියට පැමිණීමට අවශ්‍ය බවයි.

ඒ වෙනුවෙන් පෘථිවියට පැමිණීමට රොකට්ටුවක් සහ එහි “ගොඩබෑමේ ගාස්තු” ඇතුළුව ඔහුගේ ආපසු පැමිණිමේ ගමනට අවශ්‍ය දේවල් කිහිපයක් සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය බව ඔහු විසින් එම කාන්තාවට පැවසූ බවත් කාන්තාව ඊට අවනතව ගගනගාමියෙක් ලෙස පෙනීසිටි පුද්ගලයාට වරින් වර මුදල් ලබා දී ඇති අතර ඔහු විසින් ඇයට තවත් මුදල් එවන ලෙස දිගින් දිගටම ඇවිටිලි කල පසු ඇයට සැකයක් පහල වී පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.