උණුසුම් පුවත්
Search
aruni

”පදිංචියට ලංකාවට ආවත් තිබ්බ ප්‍රශ්න නිසා ආපහු එංගලන්තයටම ආවා” – රූ කිරුළ දිනූ අරුණි රාජපක්ෂ

15981

අරුණි රාජපක්ෂ කියන්නෙ 2007 වසරේදී අපේ රටෙන් බිහි වුණු ශ‍්‍රී ලාංකීයරූ රජිනයි. එ් නිසාම ඇය දක්ෂ නිරූපණ ශිල්පිණියක් ලෙස ක්ෂේත‍්‍රයේ ඉහළින්ම වැජඹුණා. ඇය ඉන්පසුව සිනමා රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවක් ලෙසත් නමක් හදාගත්තා.ඇය රඟ පෑ පත්තිනි, ඇඩ‍්‍රස් නෑ, ආදරණීය කතාවක් වැනි සියලූම සිනමාපට අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත්වුණා. නමුත් කලා දිවියේ හොඳම කාලෙදි ඇය විවාහ වී එංගලන්තයේ පදිංචියට යනවා. එ් අනෙක් සියලූම දේට වඩා සිය පවුල් ජීවිතයට මුල් තැනදෙන්න ඕන නිසා. එ්ත් අරුණිව අපිට තවමත් අමතක නෑ.

No photo description available.

මේ අරුණි එංගලන්තයේ සිට අපට කියූ කතාවයි.

පාටි එක්ක ටිකක් බිසී… නත්තලේ ඉඳලා මේ වෙනකල් පාටීස් නිසා ටිකක් බිසී. මගේ සැමියා නලින්ගේ කසින්ස්ලා, යාළුවො ගොඩක් මෙහේ ඉන්නෙ. ඉතින් එයාලා එක්ක ක‍්‍රිස්මස් ලොකුවටම අපි සෙලිබ්‍රේට් කළා. එංගලන්තයේ ජීවිතය හරි නිදහස්… අපි ජීවත් වෙන්නෙ එංගලන්තයේ බකින්හම්ෂයර් නගරයේ. ලංකාව අතින් බැලූවොත් මෙහේ හැම පහසුකමක්ම තියෙනවා. ලංකාවත් මේ වගේ දියුණු වෙන්න ඕන රටක්. එ් ගැන හිතෙද්දි හරිම දුකයි. මම කොහොමත් කැමති මගේ පවුල එක්ක නිදහසේ, පාඩුවේ ජීවත් වෙන්න. ඒකට හොඳම නගරයේ තමයි අපි දැන් ඉන්නේ. දුවල දෙන්නට දැන්අවුරුදු හතරයි… දුවල දෙන්නට දැන් අවුරුදු හතරක් සම්පූර්ණයි. ලොකු දුව දියාරා සමරවික‍්‍රම. අනිත් කෙනා ඉනාරා සමරවික‍්‍රම. එයාලා දැන් මෙහේ නර්සරි යනවා. ලබන අවුරුද්දෙ සැප්තැම්බර් ඉඳන් ඉස්කෝලෙ.

බබාලගෙ නම් වලට දෙවැනි නමක්් නැත්තෙ මට වෙච්චි ඇබැද්දියක් නිසයි… අපි හිතාගෙනම හිටියෙ බබාලට සෙකන්ඞ් නේම්ස් දාන්නෙ නෑ කියල. එ්කට හේතුව මට තියෙන්නෙ නම ඉස්සරහට එන වසගම එක්ක දිග නමක්. නම දිග වැඩි නිසා දවසක් මට එයාපෝට් එකේ ෆෝම්ස් පුරවන්න ගිහින් ප්ලේන් එකකුත් මිස් වුණා. වාසගමත් එක්ක මගේ සම්පූර්ණ නම කොහෙවත් සටහන් වෙලා නෑ.

No photo description available.

දවසක් ඇමෙරිකා යද්දි මම සම්පූර්ණ නම ලිව්වම මාව තියාගත්තා යන්න නොදී මෙහෙම නමක් තියෙන්න විදිහක් නෑ මේක දිග වැඩියි කියල. ඉතින් එ්ක චෙක් කරන්න මැනේජර් එනකල් ඉන්න වෙලා මට ෆ්ලයිට් එක මිස් වුණා. එදා ඉඳන් මම පාවිච්චි කරන්නෙ අරුණි රාජපක්ෂ කියන නම විතරයි. බාබාල දෙන්නගෙත් නම් කියන්න, ලියන්න පහසු විදිහට අපි දැම්මෙ ඒ නිසයි.

ලංකාවේ දිගටම පදිංචියට ඇවිත් ආයෙ ගියා. මම වගේම නලිනුත් කැමති වෙලා හිටියෙ දුවල දෙන්නත් එක්ක ලංකාවේ පදිංචියට එන්න. එ් නිසා අපි 2018 ලංකාවේ පදිංචියට ආවා. මෙහේ අපි පාවිච්චි කරමින් හිටපු බඩු මුට්ටු පවා ලංකාවට එව්වා. මමත් ආයෙ ප්ලෑන් කරන් හිටියේ කලාවට සම්බන්ධ වෙනවා කියලා. මගේ සැමියාගේ නිෂ්පාදනයෙන් අපි චිත‍්‍රපටියක් හදන්නත් හිතන් හිටියේ. ස්ක‍්‍රිප්ට් එක පවා ලිව්වා. නමුත් අපිට ලංකාවේ රැෙ​ඳන්න බැරි කාලයක් උදා වුණේ. පාස්කු බෝම්බ ප‍්‍රහාරය, කොවිඞ්, තෙල්, විදුලි, ගෑස් ප‍්‍රශ්න සේරම ආවා. පස්සෙ අපිට හිතුණා බබාල ගැනත් හිතල ආයෙ එංගලන්තයට යන එක හොඳයි කියල. එ් නිසා අකමැත්තෙන් වුණත් ආයෙ මෙහෙ ආවා. රට අවුරුද්දෙන් අවුරුද්ද පස්සට ගියාට අපිට ජීවිතේ ආපස්සට දාන්න බෑ. නමුත් අවුරුද්දට දෙපාරක්වත් අපි ලංකාවට එනවා…..

No photo description available.

මගේ කලාවේ හොඳම කාලේමම රට දාලා ගියා. මට එ් වෙලාවේ කලාව දාලා යන එක ගැන වැඩිය හිතුණෙ නෑ. මම අවුරුදු දහයක් විතර ඉන්ඩස්ටි‍්‍ර එකේ හිටියා. හොඳටම බිසී වෙලා හිටපු කාලයක් එ්ක. මගේ ගම නුවර. මම අක්කා එක්ක කොළඹ නැවතිලා හිටියේ. බිසී එකත් එක්ක මට මගේ පවුල ගොඩක් මගහැරුණා. වෙසක්, අවුරුද්ද කිසිදෙයක් මට නෑ මම වැඩ. පවුලක් විදිහට එකට සමරන්න ඕන දේවල් ජීවිතෙන් ඈත් වුණා. සමහර දවස්වලට මම ගෙදර එන්නෙ නිදාගන්න විතරයි.

මට හිතුණා දැන් වයසත් හරි නිසා ජීවිතය වෙනසක් කරන්න කාලෙ හරි කියල. එ් කාලෙදිම මට නැන්දා කෙනෙක් හරහා නලින්ගෙ ප්‍රොපෝසල් එක ආවා. මට කතා කරනකොටම තේරුණා නලින් තමයි හොඳම කෙනා කියලා. ඔහුව බැන්දොත් මට ලංකාවෙන් යන්න වෙන බවත් මම දැනන් හිටියා. නමුත් පවුල් ජීවිතය ගැන හිතලා මම කලාව අතහැරල එංගලන්තයට ආවා. රසිකයින්ට තාම මාව මතකයි… මම දැන් කලාවෙන් ඈත් වෙලා අවුරුදු හතක් විතර. නමුත් තාමත් මාව මතක රසිකයො ගොඩක් ඉන්නව. තාමත් මම ඕපන් කරල නැති ෆෙස්බුක් මැසේජ්වල තියෙන්නේ ඔයා ආයෙ රඟපාන්නෙ නැද්ද අක්කෙ? ලංකාවට එන්නෙ නැද්ද වගේ මැසේජ්. ළඟදි මට කෙනෙක්ගෙන් නිසදැසක් ආවා මාධවී ගැන ලියපු. තාමත් මිනිස්සුන්ට පත්තිනි චිත‍්‍රපටියේ ”මාධවී” චරිතය මතකයි. මට හරි පුදුමයි වගේම එ් අතින් මම හරි වාසනාවන්තයි. නලින් බනිිනවා රසිකයන් අමතක කරන්න එපා කියල…… මම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නෙ නැති තරම්. අවුරුද්දටම දාන්නෙ පින්තූර දෙකයි, තුනයි. ඉන්බොක්ස් එකේ මැසේජ් බලන්නෙත් නැති වුණාම නලින් කියනව මට ෆෑන්ස්ලව අප්ඬේට් කරන්න, එයාල එක්ක කතා කරන්න කියල. ඇත්තටම මට හිතෙනවා මම කරන්නෙ වැරැද්දක් කියල. නමුත් දැන් 100% ක් අම්මගෙ චරිතයේ ඉන්න නිසා වෙන දේවල් වලට අවධානය දෙන්න හිතෙන්නෑ……

No photo description available.

මමයි නලිනුයි අප‍්‍රසිද්දියේ ලංකාවේ චැරිටි වැඩ කරනවා… මගේ සැමියා බිස්නස් ඇන්ඞ් මැනේජ්මන් කන්සල්ටන් කෙනෙක්. නලින් හරිම කැමතියි චැරිටි වැඩ වලට. එයාගෙ ප්ලෑන් එකක් තිබ්බා එංගලන්තයේ ජොබ්ස් ලංකාවට ගේන්න. එ් සේරම ප්ලෑන් කරන් තමයි අපි ලංකාවට ආවෙත්. නමුත් ලංකාවේ සිස්ටම් එකත් එක්ක අදාළ පාර්ශවයන්ගෙන් කිසිම සහයෝගයක් ඒවට ලැබුණෙ නෑ. ලංකාව ගැන ලොකු බලාපොරොත්තු තියන් ලංකාවට ආවත් එ් හිටපු අවුරුදු දෙක ඇතුළත නලින්ට ලංකාව එපා වුණා….. ගිය අවුරුද්දෙත් ඔහු ලංකාවේ දුප්පත් පාසල් දරුවන් විශාල ප‍්‍රමාණයකට පාසල් උපකරණ ලබාදුන්නා.

ලංකාවේ ගම්මානයක මොන්ටිසෝරියක් හැදුවා මගේ බබාලගේ සෙල්ලම් බඩු ගොඩකුත්ප රිත්‍යාග කරල. චැරිටි වැඩගැන අපි සෝෂල් මීඩියා වල ප‍්‍රසිද්ධ කරන්නෙ නෑ….. මමයි එයයි එ් දේවල් හරියට විඳිනවා.

No photo description available.

ගිය අවුරුද්ද ජීවිතේ මහන්සිම අවුරුද්දක්… ගිය අවුරුද්ද ඇත්තටම හරිම මහන්සියි. පළවෙනි කොවිඞ් රැල්ල එනකොට අපි ලංකාවෙ හිටියේ. අපි අවුරුදු දෙකක් විතර මාස්ක් දාගෙන පරිස්සම් වුණානෙ. ගෙදරට ගෙනාපු බඩු පවා අපි සැනිටයිස් කරල ගත්තෙ. නමුත් ලොක්ඩවුන් ඉවර වෙලා ඉංග්ලන්ඞ් එනකොට මෙහේ කොරෝනා ගණන් ගන්නෙවත් නෑ. ඉතින් මෙහෙදි අපි හැමෝටම කොවිඞ් හැදුණා. ලංකාවෙ පදිංචි වෙන්න හිතාගෙන ලංකාවට යවපු බඩු ආපහු ස්ටෝරේජ් කරල එංගලන්තයට ගෙන්නගන්නත් වුණා. එ් වගේම ලංකාවෙ අපිට බුටික් හොටෙල් එකක් තියෙනවා.එ් ව්‍යාපාර කාටහරි බාරදීල එන්නත් වුණා. ලංකාවෙ දේශගුණයට හුරු වෙලා ආයේ ඉංග්ලන්ඞ් එද්දි මෙහේ දේශගණය හරි වෙනස්. ඔය වගේ පෙරලි එක්කයි ගිය අවුරුද්ද ගෙවුණෙ.

ආයෙමත් රඟපාන්න ආසයි… මුලින් මම රඟපාන අදහස අත්හැරල දාලා හිටියත් දැන් මගේ පෙනුමට සහ වයසට ගැළපෙන චරිතයක් ලැබුණොත් රඟපාන්න ආසයි. නලින් කියන්නෙත් ආයෙ රඟපාන්න කියල. මම ලංකාවට ආපු අවුරුදු දෙක ඇතුළතත් නිවේදන කටයුතු කළා. නමුත් බබාලා එක්ක කරන්න අමාරුයි. එ් නිසා එයාලා තේරෙන වයසට ආවට පස්සෙ ආයෙමත් කලා කටයුතු වල නිරත වෙන්න බලන් ඉන්නවා.

No photo description available.

දුවලට තියෙන්නේ මගේම ජාන… මෙයාලා සින්දු කියන්න, ඩාන්ස් කරන්න හරි ආසයි. එක්කෙනෙක් කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ප‍්‍රසන්ට් කරනවා. එයාලා මම ප‍්‍රසන්ට් කරනවා ජීවිතේට දැකලවත් නෑ. පින්තූරයක් ගන්න ඉන්න කිව්වොත් ලස්සනට පෝස් කරනවා.

මේ අවුරුද්දෙනම් දෙතුන් පාර ලංකාවට එන්න වෙන්නෑ… බබාලට සැප්තැම්බර් මාසෙ ඉඳන් ඉස්කෝල පටන්ගන්නවා. ලංකාවට එන්න වෙන්නෙ එයාලගෙ නිවාඩු කාලෙට. ඉස්සර නම් ලබන සතියෙ ලංකාවට යමු කියල තීරණය කරල අපි ආපු දවස් තිබුණා. බබාලගෙ ස්කූල්ස් පටන්ගත්තම අපට ඕන ඕන දවස්වලට එයාලව ට‍්‍රැවල් කරවන්න බෑ. බැරිවෙලාවත් ස්කූල් වැකේෂන් එකෙන් පිට අපි එයාලව ලංකාවට අරගෙන ගියොත් ආයෙ ඉංග්ලන්ඞ් එක්කගෙන එද්දි එයාපෝට් එකේදි දඩ ගහනවා. මෙහේ එහෙම නීතියක් තියනවා.

No photo description available.

එරංදි කෞශල්‍යා