දමිතා අබේරත්න රංගන ශිල්පිනිය අද දවසේ සමාජයේ කතාබහට ලක්වෙන්නෙ අරගලයේ ක්‍රියාකාරී චරිතයක් හැටියට. නමුත් අරගල අතරත් ඇය රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය ද්විත්වයක් මේ දිනවල විකාශනය වෙනවා. මේ වටපිටාව තුළ ඇය කළ පිළිසඳරක පෙළගැස්මයි මේ.
දමිතා, මේ දිනවල චරිත කිහිපයකින්ම දකින්න ලැබෙනවා. කොහොමද රසික ප්‍රතිචාර?
රංගන ශිල්පිනියක් විදිහට මම ජීවිතේ හැමදාම හොඳම ප්‍රතිචාර ලබපු කෙනෙක්…. නමුත් මේ වෙලාවෙ ඊට වඩා ලොකු ප්‍රතිචාරයක් මට මේ රටෙන් ලැබෙනව.

ඒ ප්‍රතිචාරය ගැන කතා කළොත්?
මම අරගලය පටන්ගත්තෙ දැන් නෙමෙයි…. අවුරුදු ගාණකට කලින් ඉඳන් අපි කිව්ව මේ කරන දේවල් හරි නෑ කියල…. නමුත් මිනිස්සුන්ට දැනුණෙ තමන්ගේ පුද්ගලික නිවසට ඒ පහර වදිනකොට. අරගලය වෙනුවෙන් මම පාරට බහින්නෙ මේ රටේ මනුස්සයෙක් විදිහට. මොකද මම මේ රටේ මනුස්සයෙක් වුණ නිසානෙ මේ රටේ මිනිස්සු ආදරය කරන කලාකාරිනියක් වෙන්නෙ…. කොහොම වුණත් මනුස්සයෙක් විදිහට මට වගකීමක් තියෙනව මගෙ රට වෙනුවෙන් එළියට බහින්න…. එකම එක දුකක් තියෙන්නෙ රට වෙනුවෙන් එළියට බැස්සාම අපිට අපහාස කරල, මඩගහල, අපිව පාගල දාල මර්දනය කරන්න හදන මිනිස්සු කොට්ඨාසයක් තවමත් ඉන්නව…. ඒ මිනිස්සු දන්නෙ නැහැ ඒ අයගෙ පවුල්වල අයත් ගෑස් නැතිව, තෙල් නැතිව පෝලිම්වල ඉන්න බව. ඒ තරම් පක්ෂ, පාට වලට ගැති වුණ මිනිස්සු. මට ඒ අය ගැන තියෙන්නෙ අනුකම්පාවක්.

කලාකරුවනුත් පක්ෂ පාට වෙනුවෙන් වැඩ කළා?
මේ අය බලයට ගේන්න වැඩ කරපු කලාකරුවො බොහෝ පිරිසක් ඉන්නව…. බලය දීල, තුනෙන් දෙකක වරප්‍රසාදයක් දීල, හොරකම් කරගන්නත් ඉඩ දීල රටක් විදිහට අපි ඒ අයට කළගුණ දැක්වීමක් කළානෙ…. නමුත් රටකට ඒක බලපාද්දි පවුල් ලක්ෂ 60ක් විතර පාරට ඇදවැටෙද්දි ඒ කලාකරුවන්ට ලොකු සේවයක් කරන්න තිබුණ. එදා ඒ අය ගත්ත තීරණය වැරදියි කියල මම කියන්නෙ නැහැ. නමුත් රටකට මෙච්චර විනාශයක් වෙද්දි අපි එදා ගත්ත තීන්දු තීරණය වැරදියි, රට වෙනුවෙන් අපි පාරට බහින්න ඕන කියල ඒ අයට හිතන්න පුළුවන් වුණා නම්. කිහිප දෙනෙක් ආවා, බහුතරයක් ආවෙ නැහැ. ඒ ගැන මට ලොකු කලකිරීමක් තියෙනව. ඒ අතර මගෙ සහෝදර සහෝදරියො, ප්‍රවීණ ශිල්පීන් ඉන්නව. ඒ අයට ලොකු හඬක් තියෙනව. ඒ හඬ රට වෙනුවෙන් අවදි වුණා නම් කියන හැඟීම මේ වෙලාවෙ තියෙනව. නමුත් ඒ හඬ අවදි නොවීම ගැන කලා ශිල්පිනියක් විදිහට මට ලොකු දුකක් තියෙනව. මිනිස්සුන්ගෙ ප්‍රතිචාරය මට මේ වෙලාවෙ ලැබෙන්නෙ රටට ආදරය කරන මනුස්සයෙක් හැටියට එළියට බැහැපු නිසා.
අරගලයේ සාමාජිකාවක් වීම නිසා කලා ක්ෂේත්රයෙන් ඔබව ප්‍රතික්ෂේප වෙලාද?
අරගලයට එකතුවීම නිසාම නෙමෙයි, කොහොමටත් මට එවැනි දේවල් සිදු වෙලා තියෙනව. කලා ක්ෂේත්රයේ ඉන්නෙ හරිම සංවේදී මිනිස්සු කියල කිව්වට මේ ක්ෂේත්රයේම ඉන්න ප්‍රවීණ ශිල්පිනියක් පවා මට මඩගසමින් පෝස්ට් හදල දාල තිබුණ… මම ඒ කෙනාගෙන් කෙළින්ම කතාකරල ඇහුව මොකක්ද අක්කා ”මම ඔයාට කළ වැරැද්ද?” කියල. මට හොඳ ආත්ම විශ්වාසයක් සහ කොන්ද කෙළින් තියාගෙන කතාකරන්න පුළුවන් ශක්තියක් තියෙනව.

ඔබ සැලෙන්නෙ නැහැ?
මෙහෙමයි යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැහැනෙ…. මම පාරට බැස්සෙ කාගෙන් කැපිලි ආවත් තනියම හරි බෝඩ් එකක් උස්සගෙන මම මගේ අරගලය කරගෙන යනව කියන හැඟීමෙන්. දැනුත් මම හිටගෙන ඉන්නෙ එතැන.

දැන් ඔබ නවතිනවද?
තවම ඉවර නැහැ…. තව බොහෝ දේවල් ඉදිරියට එයි. ඒ හැම මොහොතකම රට වෙනුවෙන් හිටගන්න ලැහැස්තිය. ඒ හැරුණාම කවුරු හරි හිතාගෙන ඉන්නව නම් මට දේශපාලනික වශයෙන් පුද්ගලික ඇජෙන්ඩා තියෙනව කියල, මට පුද්ගලිකව එහෙම දෙයක් නැහැ. මම කියන්නෙ දේශපාලනය කරන අයට වගේම කලාකරුවන්ටත් ලොකු හඬක් තියෙනව, මේ හැමෝටම මිනිස්සු වෙනුවෙන් හිටගන්න පුළුවන් වුණොත් මේ රටට ගොඩක් වටිනව කියලා. දේශපාලකයන්ට වැඩිය ලොකු හයියක් කලාකරුවන්ට තියෙනව…. අපි ඒ හයිය රට වෙනුවෙන් පාවිච්චි කරමු. ඒ වගේම දේශපාලනය කරනව නම් මිනිස්සුත් එක්ක හිටගන්න පුළුවන් මිනිස්සු වෙන්න. මිනිස්සු අතරට එද්දි ගහනව නම් ඒ අය කරපු, කරගෙන ගිය සිස්ටම් එක වැරදියි කියන එකට සාක්ෂි තමයි ඒ….

ඩයස්පෝරාවේ ඉත්තෙක් හැටියටත් ඇතැම් අය ඔබට චෝදනා කරනව?
ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු තමයි අපිට මේ පහර ගහන්නෙ. සිංහල ඩයස්පෝරාව, දමිළ ඩයස්පෝරාව වගේම පිටරට වල ඉන්න අපේම ජනතාවටත් ඩයස්පෝරාව කියල තමයි කියන්නෙ. මේ අරගලය අරගෙන යන්න අපිට උදව් කළේ ඒ මිනිස්සු. ඒක මට පුද්ගලිකව කරපු උදව්වක් නෙමෙයි. පිටරට වලින් වගේම ලංකාවේත් මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිට උදව් කළා. තවමත් ඒ දේවල් කරනව.

රටේ සිස්ටම් එක වගේම කලාවේ සිස්ටම් එකත් වෙනස් වුණොත් හොඳයි නේද?
කලාවේ සිස්ටම් එක වෙනස් කරන්න අවුරුදු දෙකක් තිස්සේ පනතක් හැදුව. අපි මේ ඔක්කොම වෙනුවෙන් පෙනී සිටි මිනිස්සු. ඒකයි මට මේ තරම් කැක්කුමක් තියෙන්නෙ. ඒ පනත හදන්න එකතු වුණේ 20 දෙනෙක් වගේ. එහෙම හදපු පනත හිටපු ඇමතිවරුන්ට භාරදීල පාර්ලිමේන්තුවේ සම්මත කරල දෙන්න කියල ඉල්ලුව. මේ පනත හැදුවෙ එක එක්කෙනාට ඕන විදිහට තමන්ගේ නිර්මාණ උඩින් දාගන්න බැරි විදිහට වගේම සියලු නිර්මාණකරුවන්ට සාධාරණයක් වෙන විදිහට. නමුත් එහෙම දේකට වුවමනාව තියෙන්නෙ මේ ඉන්න ඇමැතිවරුන්ගෙන් අතළොස්සකට විතරයි.

මේ කටයුතු අතර රංගනයෙන් ඈත් වෙලාද?
ඇත්ටම අපිට දැන් මුකුත් කරගන්න බැහැනෙ…. ජෙනරේටර් එකක් ඔන් කරගන්නත් ඩීසල් ඕනනෙ…. කෑම එකක් වුණත් අද තියෙන ගාණ නෙමෙයි හෙට තියෙන්නෙ…. කිසිම දෙයක් නිශ්චිත නැහැ….. ඉතිං නිෂ්පාදකවරුන් ඉදිරිපත්වෙයිද නිර්මාණ කරන්න??? මේ වගේ වෙලාවක වුණත් ‘බොනිකර තරු’ නිෂ්පාදක තරංග මල්ලි, ‘හිත ළඟ හිනැහුනා’ නිෂ්පාදක යන අයට ඇත්තටම මේ වෙලාවෙ හිස නමන්න ඕන… මොකද මේ එක නිර්මාණයකින් පවුල් සියයක් විතර යැපෙනව….

මහේෂ් එදිරිසිංහ







Photos – Damitha Abeyrathne fb account
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)