උණුසුම් පුවත්
Search
rajitha

”ඇමති කිව්වට බෙහෙත් තියෙනවා කියලා, අනුරපුරේ එයාගෙම රෝහලේ සර්පයෙක් කාලා ගෙනා දරුවා ප්‍රතිවිෂ නැතිව මිය ගිහින්” – රාජිත සේනාරත්න

204

”හැටනව ලක්ෂයක් ඡන්ද ලබාගෙන බලයට පත් ජනාධිපතිවරයා රට වෙනුවෙන් කළ දෙයක් නැතැයි” ද ඔහු මේ වන විට කාන්තාවන් විසින් සංවිධානය කරනු ලබන විරෝධතා වලට ද බයෙන් හැංගෙන බව සමගි ජන බලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ දී පෙරේදා (29) පැවති මාධ්‍ය හමුවේ දී අදහස්ස දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

”එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ රටේ සාගින්නේ තත්වය පිළිබඳ ලෝකයටම දැනුවත් කරලා එහි දී ආයාචනයක් කර තියෙනවා අපේ රටට ආධාර කරන්න කියලා. එම සංවිධානයේ වාර්තාවේ වැදගත් කරුණු රාශියක් තියෙනවා. එය මෙරට ජනගහනයෙන් 22%ට ආහාර ලබා ගැනීමට ආධාර අවශ්‍ය වන අතර 86% ආහාර ගැනීම අඩු කිරීම හෝ මග හැරීම සිදු කරන බවයි. යුනිසෙෆ් ආයතනය කිව්වා පවුල් 10කින් 7ක් කන්නේ නැති බව. ලක්ෂ 17ක පිරිස වඩාත් අවදානම් කාණ්ඩයක පසුවන බැවින් මෙරට මානුෂීය ආධාර අවශ්‍ය ජනගහනය ලක්ෂ 57ක් බවත් ඔව්න් පවසා තිබෙනවා. ඒ සඳහා ලෝක ප්‍රජාවගෙන් ආධාර ඉල්ලා තිබෙනවා.

කලක් ශක්තිමත්ව පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැන් අනතුරේ ඇති බවත් දැනුම් දෙනවා. 2018දී ලෝකයේම තිබුණ හොඳම සෞඛ්‍ය සේවාවෙන් එකක් තමයි ශ්‍රී ලංකාවේ තිබුණේ…. එවැනි සෞඛ්‍ය සේවයක් තමයි අද විනාශ කරලා තියෙන්නේ…..

2021 හා 2022 මහ කන්නයේ වී අස්වැන්න 50%ක් දක්වා අඩුවී ඇතැයි ද ජුනි මස අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධ 200ක තොග අවසන් වන බවත් ඉදිරි මාස තුන තවත් ඖෂධ 163ක තොග අවසන් වන බවත් අත්‍යවශ්‍ය ශල්‍යකර්ම උපකරණ 2724 සහ රසායනාගාර ද්‍රව්‍ය 250ක් ද ඒ අතර වෙනවා.

අපේ රජය කාලයේ සියලුම රසායනාගාර පරීක්ෂණ රජයේ රෝහල්වලින් කළා. රුධිර සාම්පල හෝ වෙනත් සාම්පල ඉස්පිරිතාලේ ඉඳලා එළියට ගෙන යෑමට එදා මම තහනම් කළා…. ලංකාවේ අපි මිලියන 2600ක් වියදම් කරලා හැම රසායනාගාර රෝහලකටම ඔටෝ ඇනලයිසර් ගෙනල්ලා දුන්නා. ඒකෙන් තප්පර 30කට රුධිර පරීක්ෂණ වාර්තා 14ක් නිකුත් කළා. ඒ නිසා කාටවත් කියන්න බැරි වුණා දැන් ප්‍රමාණය වැඩි කරන්න බැහැ කියලා…. අද ඒ වගේ රසායනාගාර ද්‍රව්‍ය 250ක් නැහැ…. මොන උපකරණය දුන්නත් වැඩක් නෑ, පරීක්ෂණ පවත්වන්න බෑ. ඒව සියල්ල ජනතාව සල්ලි වලට කරගන්නවා….

මුහුණු පොතේ තියෙනවා කම්පාවෙන පුවතක්, එය කිමෝ තෙරපි රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නෑ…. මහරගම පිළිකා රෝහලේ බෙහෙත් නැතුව රෝගීන් මැරෙනවා. මේ වෙලාවේ කිමෝ තෙරපි සහ තවත් අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් නැහැ…. පිටරට ඉන්න කෙනෙක්ගෙන් උදව් ඕන. නමුත් සල්ලි එකතු කරන්නේ නැහැ. මේ ඔක්කොම මැරිලා යනවා, ඒකයි අද තත්වය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ නැහැ. එය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරල තියෙනවා. අද සෞඛ්‍ය තත්ත්වය මේකයි….. මේවා අපි ඉදිරිපත් කරාම හිටපු සෞඛ්‍ය ඇමති කියනවා, ”නෑ එහෙම තත්ත්වයක් නැහැ” කියලා….. ඒ විතරක් නෙමේ මම කිව්ව පහුගිය කාලෙ සර්ප විෂට බෙහෙත් නැහැ. ලංකාවෙ පුද්ගලික අංශයේවත් නැහැ කියලා. කවුරුහරි සර්පයෙක් දෂ්ට කළොත් ඒකාන්ත වශයෙන්ම මිය යනවා…. ජලභීතිකා රෝගයට එන්නත් නැහැ…. එවැනි රෝගින් ඒකාන්තයෙන්ම මැරෙනවා. නමුත් ඇමති කියනවා ”බෙහෙත් තියෙනවා” කියලා. අවසානයේ අනුරාධපුරයේ එයාගෙම රෝහලේ සර්පයෙක් කාලා ගෙනා දරුවා ප්‍රතිවිෂ නැතිව මිය ගිහිල්ලා…. එම දරුවාගේ පියා කියනවා මමත් දරුවත් එක ඩොලරයක්වත් හොරකම් කළේ නැහැ නමුත් බෙහෙත් නැතුව දරුවා මිය ගියා කියලා.

සමාජ මාධ්‍යයේ ලියලා තිබෙනවා. පාන් ගෙඩියක් 50 ට තිබුනේ මීට අවුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019 යේ බව, ගෑස් සිලින්ඩරයක් 1350 ට තිබුණේ මීට අවුරුදු 74 කට කලින් නෙමෙයි 2019 යේ, සිමෙන්ති කොට්ටය 850 ට තිබුනේ අවුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019යේ, ඩීසල් ලීටර්ය 120 කට අඩුවෙන් තිබුනේ අවුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019 යේ පෙට්‍රල් ලීටරය 140 ට අඩුවෙන් තිබුණේ මීට අවුරුදු 74 කට කලින් නෙමෙයි 2019යේ, අවම බස් ගාස්තුව රුපියල් 12ට තිබුණේ වුරුදු 74 ක ට කලින් නෙමෙයි 2019යේ ත්‍රීවිල් පළමු කිලෝමීටර් රු. 50 ට ගියේ අවුරුදු 74 ක ට කලින් නෙමේයි 2019යේ කිරි පැකට් එක අඩුවට තිබුනේ 74ට කලින් නෙමෙයි 2019 එහිදී මේ අවුරුදු 74 ක ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ 69ලක්ෂයක ප්‍රශ්නයක්. ඒ නිසා මතක තියාගන්න අපේ ආණ්ඩුව අපි රාජපක්ෂලාට භාර දෙන කොට 2014 රාජපක්ෂලා ආණ්ඩු කාලෙ තිබුණටත් වඩා බඩු මිල අඩුවෙනුයි රට බාරදුන්නේ….”

අකිත පෙරේරා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *