උණුසුම් පුවත්
Search
deepika pregnent

දීපිකා සහ රන්වීර් මාපිය පදවි ලබන්නට සැරසෙයි – ලොව සතර දෙසින්ම සුබ පැතුම් !

170

දීපිකා පාදුකෝන් සහ රන්වීර් සිං කියන්නේ බොලිවුඩයේ ජනප්‍රියම අඹු සැමි යුවළක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දෙදෙනාගේ රසික රසිකාවියන් වෙත විශාල සතුටක් ගෙන එන තවත් පුවතක් පසුගිය සතියේ වාර්තා වුණා. එනම් මේ යුවළ ළඟදීම මවුපියන් බවට පත් වීමට යන බවයි. දීපිකා සහ රන්වීර් සිය කුලුඳුල් දරුවා පිළිගැනීම සඳහා සුදානම් වෙමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

දීපිකා ගැබ්බරව සිටින බවට සති කිහිපයකට පෙර සිටම යම් යම් කටකතා පැතිරෙමින් තිබෙනු දකින්න ලැබුණා. නමුත් ඒ කතා වල ඇත්ත නැත්ත ගැන බොහෝ දෙනෙකුට හරියටම සිතාගන්නට හැකි වුණේ නැහැ. කෙසේ හෝ වේවා, එම සැක සංකා සියල්ල පහව ගියේ පසුගිය දිනෙක රන්වීර් සහ දීපිකා සිය සමාජ මාධ්‍ය පිටු හරහා මේ කතාව නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ යි. එය තහවුරු කරන අතර ඔවුන් තවත් කාරණයක් අනාවරණය කර තිබුණා. එනම් දරුවා බිහිවන්නට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ බව යි.

Deepika Padukone and Ranveer Singh opt for surrogacy?

මෙම කතාව ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ඔවුන්ගේ රසික රසිකාවියන් මෙන්ම සිනමා ක්‍ෂේත්‍රයේ මිතුරු මිතුරියන් ද ඔවුන් වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනු දැකිය හැකි වුණා. ආලියා භාත්, ප්‍රියංකා චොප්රා, මධුරි ඩික්සිත්, සෝනාම් කපූර්, ක්‍රිති සැනොන්, වරුන් ධවාන් ඇතුළු බොහෝ දෙනෙකු ඒ අතර සිටියා. ජනප්‍රිය නිළි සොනාක්‍ෂි සිංහා සඳහන් කර තිබුණේ මෙය දීපිකාගේ ‘හොඳම නිෂ්පාදනය’ වනු ඇති බව යි.

දීපිකා ගැබ්බරව සිටින බවට සමහරුන් තුළ මුලින්ම යම් සැකයක් ඇති වූයේ මෙයට ටික දිනකට පෙර ඇය බ්‍රිතාන්‍යයේ BAFTA සිනමා සම්මාන උලෙළට සහභාගි වූ අවස්ථාවේ යි. එහි දී ඇය එක් සම්මානයක් පිරිනැමීම සඳහා ද තෝරා ගෙන සිටි අතර ඒ වෙනුවෙන් වේදිකාවට පැමිණි අවස්ථාවේ තම කුස පෙදෙස ආවරණය කර ගන්නට උත්සාහ ගන්නා ආකාරයක් දැකිය හැකි වුණා. ඇය ගැබ්ගෙන සිටිනවාද යන සැකය ඇතැමුන් තුළ මුලින්ම ඇති වී තිබුණේ මෙම සිද්ධියත් සමඟයි.

Where is Deepika Padukone? Is she really pregnant? - Quora

කෙසේ හෝ වේවා, දරු සුරතල් බැලීමට දීපිකාත්, රන්වීරුත් තීරණය කර ඇත්තේ ඔවුන්ගේ විවාහයෙන් වසර 06කට පසුවයි. ඒ දෙදෙනා විවාහ වුණේ 2018 වසරේයි. දීපිකාගේ වයස මේ වනවිට අවුරුදු 38ක්. ඇය උපන්නේ 1986 ජනවාරි 5 වැනිදා යි.

Deepika Padukone confirms Pregnancy after Separation news with Ranveer Singh amid Controversy - YouTube

දීපිකා – රන්වීර් දෙදෙනාගේ විවාහ දිවිය තුළ යම් යම් ගැටලු මතු වී ඇති බවට කතන්දරත් පසුගිය කාලයේ සංසරණය වෙමින් තිබූණා. සමහර කටකතා වලින් පැවසුණේ ඔවුන් දෙදෙනා දික්කසාද වීමට යන බවයි. මෙම කතා පැතිරෙන්නට පටන් ගත්තේ සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ එක්තරා පෝස්ටුවකට දීපිකා මනාපයක් (Like එකක්) සටහන් කර තිබීමත් සමඟයි. එම පෝස්ටුවේ සඳහන් වුණේ මෙවැන්නක්:

“ඔබ යම් සම්බන්ධතාවක් පවත්වන විට ඔබ හිතනවා එය හැමදාම පවතියි කියලා. නමුත් යථාර්ථය එය නෙවෙයි. එවැනි සම්බන්ධතාවක් හැමදාම පවතින්නේ දෙදෙනාම ඒ වෙනුවෙන් කැප වෙනවා නම් පමණයි. එක් කෙනෙක් එම කැපවීම අත්හැරියොත් ඒ සම්බන්ධය බිඳ වැටෙනවා….”

කෙසේ හෝ වේවා, ඔවුන් දික්කසාද වීමට සිටි බවට පළ වූ කටකතාවල ඇත්ත නැත්ත සම්බන්ධයෙන් දීපිකාවත්, රන්වීර්වත් කවදාවත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ.

Deepika has all of Ranveer's heart : The Tribune India

ගැබ්බරව සිටින දීපිකා ඉදිරියේ දී ටික කලකට සිනමාවෙන් සමු ගැනීමටත් ඉඩ තිබෙනවා. නමුත් ඇය සිය වෘත්තියට බෙහෙවින් ඇළුම් කරන කෙනෙකු බව රහසක් නොවෙයි. ඒ නිසා බොහෝ දෙනා පවසන්නේ දරු ප්‍රසූතියෙන් පසු ඇය හැකි ඉක්මනින් නැවත සිය සිනමා වැඩ කටයුතු ආරම්භ කරනු ඇති බව යි.

දීපිකා රඟපාන දැවැන්ත සිනමාපටයක් ළඟදීම තිරගත වීමටත් නියමිතව තිබෙනවා. ඒ Kalki 2898 AD සිනමාපටය යි. ඉන්දියානු සිනමාව තුළ වැඩිම වියදමක් දරා නිපදවන ලද සිනමාපටයක් ලෙස සැලකෙන මෙය ලබන මැයි මාසයේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙනු ඇති. ඒ සඳහා වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 600ක් පමණ වන බව සඳහන්. (පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රිය වූ පතාන්, ජවන් වැනි චිත්‍රපට සඳහා වැය කර තිබුණේ කෝටි 250-300 අතර මුදල් ප්‍රමාණයක්). නිෂ්පාදන වියදම අතින් Kalki 2898 AD සිනමාපටයේ විශේෂත්වය මේ අනුව සිතා ගත හැකියි. ප්‍රභාස් සහ අමිතාභ් බච්චන් වැනි සුපිරි නළුවන් ද මෙම සිනමාපටයේ රඟපානවා.

Pregnant Deepika Padukone stuns in a white maxi dress and Rs. 1.9 lakh Max Mara cardigan at the airport with Ranveer Singh, see pics 1 : Bollywood News - Bollywood Hungama

ළඟදී තිරගත වීමට නියමිත දීපිකාගේ තවත් සිනමාපටයක් වන්නේ Singham Again චිත්‍රපටය යි. දීපිකා සමඟ අජේ දේව්ගන්, කරීනා කපූර්, ආක්ෂේ කුමාර්, ටයිගර් ෂ්රොෆ් මෙන්ම දීපිකාගේ සැමියා රන්වීරුත් Singham Again හි චරිත නිරූපණය කරනවා.

දීපිකා පසුගිය කාලයේ රඟ පෑ පතාන්, ජවන් චිත්‍රපට මෙන්ම රන්වීර් රඟපෑ රොකි ඕර් රාණි කි ප්‍රේම් කහානි චිත්‍රපටය ද ප්‍රේක්‍ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා.

Celebs react to Deepika Padukone and Ranveer Singh's candid revelations on Koffee With Karan 8 8 : Bollywood News - Bollywood Hungama

 

කසුන් අරවින්ද