උණුසුම් පුවත්
Search
danish

ඩුබායි යන්න ගිය දානීෂ් අලී ගුවන් යානය තුළදී අත්අඩංගුවට

280

අරගලකරුවන් යැයි පවසමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි සජීවි විකාශයට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) නිලධාරීන් සිවුදෙනකුගෙන් පමණ කණ්ඩායමක් ගුවන් යානයට ඇතුල්වී ඔහුව බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගෙන ඇති බවත් අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ඇති බව එහි දී පවසා ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන නිලධාරියකුගෙන් අද රාත්‍රී කළ විමසුමකදී පැවසුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අදාල අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලැබී නොතිබූ බවත් ඔහු ආගමන හා විගමන කටයුතු අවසන් කර ගුවන් යානයේ අසුන් ගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් ඉදිරිපත් නොකළ බවත් එහිදී ගුවන් යානයේ සිටි දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු මගීන් රැසක් විරෝධය පළ කළ බවත් දැකිය හැකි වීඩියෝ සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වෙමින් පවතියි.

ගුවන් යානය තුළ දී පොලිස් නිලධාරීන් සමඟ මොහු පොරබැදීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් හටගනු ලැබීය.

අරගලකරුවන් යැයි කියන පුද්ගලයන් කණ්ඩායමක් පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන දොරටුව අසළ විරෝධතාවක් පවත්වා ධනීෂ් අලී නැමැත්තා සහ තවත් පුද්ගලයෙක් රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි සජීවී විකාශයට සම්බන්ධ වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබූ බව ද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *