උණුසුම් පුවත්
Search
president ofc

කොළඹ මන්දිර පුරාවිද්‍යා ගැසට්ටුවට අයිති නෑලු

273

අරගලකරුවන්ගේ බාරයට පත්වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ ප්‍රධාන ගොඩනැගිලි 04 පෞරාණික ස්ථාන ලෙස විධිමත් සහ නිශ්චිත ආකාරයට ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර නැති හෙයින් ඒවායේ පෞරාණික දේපළවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

ගැසට් නිවේදනයක් ප්‍රකාශ කිරීමට අදාළව මූලික කටයුතු සිදුවී තිබුණ ද ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් හැටියට නම් කෙරුණු බව සඳහන් පරිපූර්ණ ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් වී නැතැයි ද ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා (බස්නාහිර පළාත්) ශ්‍යාමලි රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස සඳහන් නිශ්චිත ගැසට් නිවේදනයක් නොමැති බවයි.

මේ හේතුවෙන් ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පෞරාණික ස්ථාන ලෙස සඳහන් ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරගෙන යන බව ද ඇය සඳහන් කළාය.

එසේම ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික භාණ්ඩ පිළිබඳ ලේඛනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව මෙතෙක් නැතැයි ද වාර්තා වේ.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගිය දා කොළඹ නගරයේ උද්ඝෝෂණ කළ අරගලකරුවන් පිරිසක් විසින් මෙම ගොඩනැගිලි 04ම ඔවුන්ගේ බාරයට ගනු ලැබීය.

එම ගොඩනැඟිලි අරගලකරුවන්ගේ බාරයේ තිබියදී ඒවායේ තිබූ පෞරාණික භාණ්ඩ රැසකට හානි වී ඇති අතර තවත් ඇතැම් භාණ්ඩ අස්ථානගත වී ඇතැයි පොලිසිය පවසයි.

විනාශවූ එම භාණ්ඩ ලේඛනගත කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ශ්‍යාමලී රාජපක්ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරේ.

සුජිත් හේවාජුලිගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *