රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.
විශ්‍රාමිකයා රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මෙම අරමුදලේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.
2016 සිට රාජ්‍ය සේවයට බැඳුණු රාජ්‍ය සේවකයින් සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදි රාජ්‍ය සේවයට බඳවා ගන්නා සියළුම රාජ්‍ය සේවකයින් මෙම දායක විශ්‍රාම වැටුපට යටත් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවකයෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් අනතුරුව ඔහුගේ වැටුපෙන් 8%ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12%ක් මාසිකව යෝජිත අරමුදලට බැර කළ යුතු වේ. මෙම යෝජිත විශ්‍රම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිට වනු ලබන අතර අරමුදල කළමනාකරණය සඳහා විශේෂ සුදුසුකම් සහිත කළමනාකරුවෙකු පත් කරනු ලැබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධ මහතා පැවසුවේ,
”මහජනතාවගේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා. අද වන විට රාජ්‍ය සේවයට බඳවා ගැනීම නතර කර තිබෙනවා. අනාගතයේ කවදා හරි බඳවා ගන්නවා නම් මේ දායකත්ව විශ්‍රම වැටුපට යටත්ව තමා ඔවුන් බඳවා ගන්නේ. 2016 පස්සේ රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයින්ගේ පත්වීම් ලිපිවල මෙම වැටුප් ක්‍රමයට යටත් විය යුතු බව ඔවුන්ගේ පත්වීම් ලිපිවලම සඳහන් වෙනවා. රාජ්‍ය අයවැය මත ඇති වන පීඩනය අවම කිරීමට සහ විශ්‍රාමිකයින්ට ලබා දෙන පහසුකම් වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙනවා.
අපි මෙම යෝජනාව මුලින්ම ගෙනාවේ 2001 වර්ෂයේදීයි. 2001 – 2002 වර්ෂ වල අද පවතින මෙම තත්වයට රට වැටෙන බව දැනගෙන යෝජනා ගණනාවක් ගෙනවා. මෙම සහභාගීත්ව විශ්‍රමා වැටුප් යෝජනාවත් මීට පෙර ගෙනාවා. මේවා මීට වසර 20කට පෙර ගෙනාවා නම් අද පවතින තත්වයට මේ රට වැටෙන්නේ නැහැ. අවාසනාවකට එදා මේ දේ කරන්න හදපු ආණ්ඩුවට ජනතාව ගෙදර යමවු කිව්වා”යැයි පැවසීය.
එම නිල සටහන පහතින්