උණුසුම් පුවත්
Search
Biyonse

බියොන්සේ සම්මාන වලින් වාර්තාවක් තියයි

275

මෙතෙක් වැඩිම ග්‍රැමී සම්මාන සංඛ්‍යාවක් දිනූ ගායිකාව බවට පත් වීමට බියොන්සේ සමත් වී තිබේ.

ඇය එම වාර්තාව බිඳ දමා ඇත්තේ, 2023 ග්‍රැමී සම්මාන උළෙලේදී ඇයගේ Renaissance ඇල්බමය වෙනුවෙන් හොඳ ම dance/electronic ගීත ඇල්බමයට හිමි සම්මානය හිමි වීමත් සමග ය.

ඒ අනුව, ඇය දිනාගත් සමස්ත ග්‍රැමී සම්මාන ගණන 32ක් දක්වා ඉහළ ගොස් ඇත.

හංගේරියානු – බ්‍රිතාන්‍ය සංගීත මෙහෙයවන්නෙකු වන ජෝර්ජ් සොල්ටි සම්මාන 31ක් දිනා ගනිමින් වසර 20ක අධික කාලයක් එම වාර්තාවට හිමිකම් කියූ අතර එය අභිබවා යමින් බියොන්සේ මෙලෙස නව වාර්තාවක් පිහිටවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

“මම ඕනෑවට වඩා හැඟීම්බර නොවී ඉන්න උත්සහ කරනවා,” සම්මානය දිනා ගත් අවස්ථාවේ ඇය පවසා ඇත.

1981 වසරේ අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලද බියොන්සේ ගායිකාවක, ගේය පද රචකයෙකු මෙන්ම රංගන ශිල්පිනියක ද වෙයි.

Destiny’s Child ගායක කණ්ඩායම පිහිටුවා එහි ප්‍රධාන ගායිකාව ලෙස 1990 වසරේදී ඇය ජනාදරයට පත් වූවා ය. එවකට ඇයගේ වයස අවුරුදු 9ක් පමණි.

How Many Are There වෙබ් අඩවිය වාර්තා කරන්නේ, බියොන්සේ මේ දක්වා ගීත 182ක් ගායනා කර ඇති අතර ඉන් 160ක් නිකුත් කර ඇති බව ත් ගීත 22ක් නිකුත් කර නොමැති බවත්ය.

ග්‍රැමී සම්මාන, හෝ සරලව ග්‍රැමී ලෙස හඳුන්වනු ලබන්නේ, සංගීත ක්ෂේත්‍රයේ “විශිෂ්ඨයින්” ඇගයීම සඳහා Recording Academy of the United States විසින් පිරිනමනු ලබන සම්මාන ය.

ඒවා ලොව පුරා සංගීත ක්ෂේත්‍රයේ වඩාත් ම ගෞරවාන්විත, සුවිශේෂී සම්මාන ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලැබේ.

ප්‍රථම වරට ග්‍රැමී සම්මානයක් පිරිනමනු ලැබුවේ, මීට වසර 63කට පෙර එනම්, 1959 වසරේ මැයි 4 වන දා ග්‍රැමෆෝන් සම්මානයක් ලෙස ය.

මෙවර ග්‍රැමී සම්මාන උළෙල 65 වන වරට ලොස් ඇන්ජලීස්හි Crypto.com Arenaහිදී පැවැත්විණි.