උණුසුම් පුවත්
Search
kavindya

”චිරන්ත ඉන්න එක හිතට ලොකු නිදහසක්” – තේරුමක් තියෙන ටැටූ විතරක් ගහන කවින්ද්‍යා

257

කවින්ද්‍යා අධිකාරි ගායනයට, රංගනයට වගේම නිවේදනයටත් උපන් හපන්කම් දක්වන්නියක්. සමිතා – අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කවින්ද්‍යා කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක් ගොඩනගා ගන්නට උත්සාහ කරන කෙනෙක්. ඒ උත්සාහයට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නත් ඇයට හැකියාව ලැබුණා. ජීවිතයේ ලැබීම් – නොලැබීම් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන ඇය සුන්දර තරුණියක් කියලා තමයි බොහෝ දෙනා හඳුනන්නේ.

මේ දවස්වල වගකීම් වැඩි වෙලා ඇති නේද?

”කරගෙන ආපු සුපුරුදු වැඩ කටයුතු කරගෙන යනවා. නිවේදන කටයුතු සහ අම්මගේ කලායතනයේ වැඩ වලට තමයි වැඩිපුර කාලය වෙන් කරලා තියෙන්නේ. මගේ මම්මා (මවගේ මව) නැතිවීමත් එක්ක කරගෙන ආපු වැඩ කටයුතු හිතට ලොකු බරක් වගේ දැනුණා. මොකද මම්මා කියන්නේ මගේ හැම වැඩකටම ලොකු ශක්තියක් දුන්න කෙනෙක්. එයා අපි අතරින් වෙන්වීම ඇතුළෙ තියෙන්නේ කියාගන්න බැරි ලොකු බරක්.

image 209

කවී වැඩ කරන්න පුළුවන් කාලේ ඒ දේවල් හඹාගෙන යන්නෙ නෑ වගේ පේන්නේ?

කලා කටයුතු කරද්දි මම ටිකක් කම්මැලි කෙනෙක්. ගොඩක් අය කියනවා මට ලැබෙන දේවල්වල අගයක් නෑ කියලා. හැබැයි එහෙම දෙයක් නෑ. මම ලැබිච්ච දේවල් උපරිම සාර්ථකව කළා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ඝරසරප චිත්‍රපටයේ මගේ රංගනය වෙනුවෙන් නැගී එන නිළිය සම්මානය දෙවතාවක් ලබාගත්තා. මම සම්බන්ධ වුණ පළමු ටෙලි නාට්‍ය අරුණ ජයවර්ධනයන්ගේ සක්කාරං. එයත් මම සාර්ථකව කළා. මම තව මහන්සි වෙන්න ඕනේ. ඇත්ත. හැමදේටම කාලයක් එන්න ඕනේ කියනවනේ. ඒ කාලය එනකල් ඉමු…..

image 210

රංගනයට අලුත් ආරාධනා ආවේ නැද්ද?

වෙළෙඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබුණා. හැබැයි බජට් ප්‍රශ්න නිසා ඒවා බාරගත්තේ නෑ. මෑතකදී රංගනයට වෙනත් ආරාධනා ලැබුණේ නම් නෑ. මම ටැටූ ගහන නිසා ඒකත් රංගනයට ප්‍රශ්නයක් වෙලා ඇති සමහර විට…..

image 201

කවී ඇයි ටැටූ වලට මේ තරම් ප්‍රිය?

මගේ ඇඟේ මේ වෙනකොට ටැටූ 12ක් තියෙනවා. මම මුලින්ම ටැටූ එකක් ගැහුවේ 2013දී. මම ලස්සනට වඩා තේරුම එක්ක තමයි ටැටූ ගහන්නෙ. මගේ ඇඟේ ගහලා තියෙන හැම ටැටූ එකකටම තේරුමක් තියෙනවා. ඒක කලාවක්. මම හරි ආසයි ටැටූ වලට. සමහරු කියනවා දැන් මගේ ඇඟේ ටැටූ ගහන්න තැනක් නැතුව ඇති කියලා. සාමාන්‍යයෙන් තව කෙනෙක්ට හානියක් නැත්නම් මම ආස දේ කරන කෙනෙක්. මගේ කොණ්ඩේ වුණත් දිගට තිබ්බා. මට හිතුණා කොණ්ඩේ කපලා බලන්න ඕනේ කියලා. ඒකත් කරලා බැලුවා. මම හැම වෙලාවෙම අද දවසේ ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. අද දවස පුළුවන් උපරිම වින්ඳම දුක් වෙන්න දෙයක් නෑ.

image 202

තාත්තා එක්ක ගීතයක් ගයන්න සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?

පසුගිය දවසක තාත්තයි මම‍යි රූපවාහිනි වැඩසටහනකට සහභාගි වුණා. එදා තිළිණ රුහුණගේ අයියා කෝල් කරලා අපිට කිව්වා මටයි තාත්තටයි මුලින්ම ගීතයක් හදන්නේ ඔහු කියලා. මටත් ගොඩක් ලොකු වුවමනාවක් තිබ්බා තාත්තා එක්ක ගීතයක් කරන්න. නමුත් කාර්යබහුලත්වය එක්ක අපිට ඒ දේ කරන්න බැරි වුණා… ඉදිරියේදි ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි කියලා හිතනවා.

image 208

තාත්තටත් ඔය එක්ක ගීයක් ගයන්න බලාපොරොත්තුවක් තිබ්බද?

තාත්තත් වැඩසටහනකදි කියලා තිබ්බා ඔහුගේ අතින් මට ගීතයක් නිර්මාණය කරනවා කියලා. ගොඩක් අය හිතන්නේ අපි එකට ඉන්න නිසා සංගීතය පිළිබඳ දැනුම බෙදාගන්න, සංගීත වැඩකටයුතු කරන්න පහසුයි කියලා. සමහර වෙලාවට ගෙදර ඇතුළේ හිටියත් වැඩ එක්ක කාර්යබහුල නිසා අපිට මුණගැහෙන්නවත් වෙලාවක් නැති අවස්ථා තියෙනවා…. ගෙදර ඉන්නකොට අපි සංගීත වැඩ කරනවට වඩා එකට කාලය ගත කරන්න උත්සාහ කරන්නේ. ඉතිං තාත්තයි මමයි කරන ගීතය අපේ වැඩත් එක්ක කොයි කාලේ එළියට එයිද කියන්න බෑ. ඒත් ඒක කවදා හෝ එළියට එයි.

image 203

තාත්තා එක්ක තිබෙන සම්බන්ධතා දැන් අලුත් වෙලාද?

අපි හැමදාම හම්බෙනවා කියලා දෙයක් නෑ…. අපි ඔක්කොම ගෙදර එකට හිටපු කාලේ වුණත් තාත්තා සංගීත කටයුතු එක්ක කාර්යබහුල වෙලා හිටියේ. තාත්තා ගෙදරින් ගියාට අපේ සම්බන්ධතාව කැඩිලා නෑ. ඉස්සර වගේමයි. එයා අදටත් ගෙදර එනවා. අපි කට්ටියම එළියට යනවා. තාත්තා මේ දවස්වල නළු භූමිකාව එක්කත් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒත් එක්ක අපි පුළුවන් වෙලාවට මුණගැහෙනවා.

image 204

කවීගේ ජීවිතේ වැඩි ඉඩක් තාත්තා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවද?

අපේ ජීවිතේ හැම දෙයකදිම ළඟින් ඉන්න කෙනා තමයි අපිට වැඩිපුර දැනෙන්නේ. තාත්තා අපි එක්ක ඉන්න කාලේ වුණත් සංගීතය එක්ක කාර්යබහුල වෙලා හිටියත් මාව ඉස්කෝලේ ගෙනියන වැඩ ක්ලාස් එක්ක යන දේවල්වලට කාලය වෙන් කළා. හැබැයි මගේ ජීවිතේ විශේෂ දේවල්වලදි මාත් එක්ක වැඩිපුර හිටියේ අම්මා. ඒ නිසා අම්මව මට දැනුණා වැඩියි. අම්මටත් වඩා මගේ ජීවිතේ උඩින්ම හිටියේ මම්මා (ආච්චි). අම්මයි තාත්තයි දෙන්නම කාර්යබහුල වෙලා ඉද්දි මාව බලාගත්තේ මම්මා. ඒ නිසා මගේ ජීවිතේ අංක එක මම්මා. දෙක අම්මා. තුන තමයි තාත්තා.

image 200

වෙන කෙනෙක්ට විශේෂ ඉඩක් වෙන් කරලා නැද්ද තවම?

තවම නැහැ.

හැමදාම ඔය උත්තරය දෙන්නද හදන්නේ?

මම හිතන දෙයක් තමයි අපි කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා නම් අපි, අපි අතරේම ඒ දේ තියාගත්තම හොඳයි කියලා. මොකද ගොඩක් අය අපි ගැන ඕනවට වඩා හොයනවා. ඉතින් ඒ දේවල් අපි අතරේම තියාගන්න එක වැඩිපුර හොඳයි කියලා මම විශ්වාස කරනවා.

image 205

ආදරය, විවාහය ගැන ඇතැමුන්ට විශ්වාසයක් නෑ. ඔබ ආදරය විවාහය ගැන මොන වගේ අදහසකද ඉන්නේ?

අපේ පරම්පරාවේ අය ඔය දේවල් ගැන හිතන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු විශ්වාසය, ගරුත්වය කියන දේවල් පැත්තක තියලා තියෙන්නේ. ආදරය කියලා බලාපොරොත්තු වෙන්නේ වෙන දේවල්. සමහර පවුල් ජීවිතවල ගෑනු කෙනා පිරිමි කෙනාව පාගගෙන ඉන්නවා. පිරිමි කෙනා ගෑනු කෙනාව පාගගෙන ඉන්නවා. එහෙම වුණාම දෙන්නට දෙන්නව එපා වෙන්න ගන්නවා. මම කියන්නේ සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ ඇත්ත කෙනාව පෙන්වන්න ඕනේ. බැන්දට පස්සේ හංගන් හිටපු ඇත්ත කෙනා එළියට ආවම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මම මගේ පවුල තුළ සහ යාළුවන්ගේ දැකලා තියෙන දේවල් එක්ක විවාහයට හරි බයයි. ඒකත් එක්ක මේ ඉන්න විදිහ හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.

image 199

ඔබ කලකිරීමෙන්ද ඉන්නේ?

සමහර තැන්වල කලකිරුණු අවස්ථා තියෙනවා. අපි මිනිස්සු. අපේ අදහස් විවිධයි. මම කසාඳ බඳින්නත් පුළුවන්, නොබැඳ ඉන්නත් පුළුවන්. මට වැදගත් වෙන්නේ සතුටින් ජීවත් වීම. හැමෝම කාටවත් වෛර නොකර ඉන්න ටික කාලේ හරි සතුටින් ජීවත් වෙනවා නම් කොච්චර ලස්සනද. මගේ ජීවිතේ මගෙන්ම තමයි මම පාඩම් ඉගෙන ගත්තේ. කෙනෙක්ට මං දිහා පිටින් බැලුවම පේන්නේ කවී කියන්නේ හරිම සැප පහසුවට ජීවත් වෙන කෙනෙක් කියලා. මට අතට පයට වැඩ කරලා දෙන අය ඇති කියලා. ගෙදර දොරේ වැඩ, උයන පිහින දේවල්, අස්පස් කරන ඒවා, වාහන හෝදන එක පවා මම අනෙක් අයගෙන් බලන් ඉඳලා ඉගෙන ගෙන තියෙනවා. මට ඇත්තටම ඕන දෙයක් කරන්න ශක්තියක් තියෙනවා. ප්‍රශ්නයක් වුණත් මම මගේ පැත්තෙන් වගේම අනෙක් කෙනාගෙ පැත්තෙනුත් හිතලා තමයි තීන්දු තීරණ ගන්නේ.

image 206

කලා ක්ෂේත්‍රය කියන්නේ ගොසිප්වලින් බේරෙන්න බැරි ක්ෂේත්‍රයක්?

මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ නිවේදිකාවක් විදිහට. ඒ කාලේ ගොඩක් ගොසිප් හැදුණා. මම පොඩි කාලේ ඉඳන් හැදුණේ හරිම ආදරණීය ලෝකයක. මගේ පවුල හරිම ආදරණීයයි. මම හිතුවේ එළියේ මිනිස්සුත් ඒ වගේ කියලා. හැබැයි මම මිනිස්සු කවුද කියලා හඳුන ගත්තේ 2013න් පස්සේ. ජීවිතේ විවිධ හැළහැප්පීම් එද්දි මම තේරුම් ගත්තා අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ. හැබැයි අපිට වෙනස් වෙන්න පුළුවන් කියලා. මගේ වයසේ ඉන්න අනෙක් අය එක්ක බලද්දි මම හරිම ශක්තිමත්. ඒකට මම ස්තුති කරන්නේ මගේ අම්මටයි තාත්තටයි.

image 198

අම්මවත් බලාගෙන වගකීම් සහගතව වැඩ කරපු කවීට දැන් චිරන්ත නිසා නිදහසක් ලැබිලා ඇති නේද?

චිරන්ත එන්න කලින් ගෙදර තාත්තා වුණේ මම. චූටි කාලේ ඉඳන් වගකීම් දරන්න මම පුරුදු වුණා. මල්ලිව බලාගන්න තැන ඉඳන් ඒ වගකීම් මට තිබ්බා. චිරන්ත අපේ පවුලට එකතු වුණාට පස්සේ මට තිබ්බ බර අඩු වුණා වගේ දැනෙනවා. මම සාමාන්‍යයෙන් මිනිසුන්ව පිටතින් මනිනවා හරියට. හැබැයි අපිට මිනිස්සු ගැන දැනගන්න ලැබෙන්නේ ආශ්‍රය කළාට පස්සේ. චිරන්ත පවුලට එකතු වුණාට පස්සේ එයා අපේ මම්මව බැලුවා. අපේ අම්මට පුදුම සහයෝගයක් දෙනවා. මගේ මල්ලි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න නිසා එයාට උදව් කරනවා. දැන් චිරන්තත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නේ. මට වුණත් ලොකු රැකවරණයක් ලැබෙනවා ඔහුගෙන්. අපේ තාත්තා ගෙදරින් ගියාට පස්සේ ගෙදර හිටියේ මමයි, අම්මයි, මම්මයි, මල්ලියි. චිරන්ත අපේ පවුල ඇතුළේ ඉන්න එක හිතට ලොකු නිදහසක්. එයාගේ වයසත් එක්ක බලද්දි ඒ වගේ වගකීමෙන් වැඩ කරන කොල්ලෙක් මම වෙන දැකලා නෑ. එයා අපි හැමෝටම ලොකු ශක්තියක්.

image 211

(තිළිණි කෞශල්‍යා විජේසිංහ – අරුණ පුවත්පතේ පිනිපලස අතිරේකයෙනි)