උණුසුම් පුවත්
Search
nilu s

”මොඩ්ල් කෙනෙක් කියලා මම විවාහය, බබාලා හදන එක කල් දැම්මෙ නෑ” – ආසියානු විවාහක රූ රැජන නිලූ

208

නිරූපණ ක්‍ෂේත්‍රය හරහා අපේ රටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකර දෙමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තබන්නට සමත් වූ කෙනෙක් තමයි නිලූ සේනානායක කියන්නේ. ඇයගේ ගමනට අත්වැල සපයමින් ඇගේ අතගන්නා අර්ජුන, ඔහුත් නිරූපණ ක්‍ෂේත්‍රය නියෝජනය කරන කලාකාමී අදහස් දරන්නෙකු වීම තුළ ඒ ගමන් මග ඉතා සාර්ථක වෙනවා. දෙදෙනාම එකතුව නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඔබ්බට රූපලාවන්‍යාගාරයක්, නිරූපණ පාසලක් පවත්වාගෙන යමින් උපන් රටට තම යුතුකම් ඉටු කරමින් සිටින අතර ඔවුන්ගේ ආදරණීය දියණියන්ද මවුපියන්ගේ ආභාෂය ලබමින් එකී ක්‍ෂේත්‍රයටම අනුගත වෙමින් සිටිනවා. මේ කතාබහ ඉන් උපුටා ගත්තක්.

පටන්ගැන්ම නර්තනයෙන්…

මම ඉගෙන ගත්තෙ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ. මට මතකයි ඒ කාලෙ හැම විෂයකටම වඩා මම දක්ෂ වගේම ලකුණු ලබාගත්තෙ නැටුම් වලට. නර්තනයට තිබුණෙ පුදුම හැකියාවක් සහ උනන්දුවක්. එයිනුත් භාරත නාට්‍යම් තමයි වැඩිපුර ප්‍රගුණ කළේ.

image 238

අහම්බෙන් නිරූපණයට…

ඔය කියන කාලෙ අපි පදිංචි වෙලා හිටියෙ පිටකෝට්ටෙ. අපේ පවුලෙ හිතවතියක් වූ ආන්ටි කෙනෙක් බ්‍රයිඩල් ෂෝ එකකට බටහිර මනාලියක් ලෙස අන්දවන්න මට කතා කළා. ඒ ෂෝ එකට සහභාගි වෙලා මට එහි පළමුවෙනි ස්ථානය හිමිවුණා. එතනින් පස්සෙ මට නිරූපණ ක්‍ෂේත්‍රයට දිගින් දිගටම ආරාධනා ලැබුණා.

image 229

ප්‍රියතම විෂය මඟහැරෙනවා…

ඔව්. ඒක ඇත්තටම හිතා ගන්න බැරි විදියට තමයි සිද්ධ වුණේ. දිගින් දිගටම නිරූපණ ක්‍ෂේත්‍රයේ ගැවසෙන්න අවස්ථාව ලැබීමත් සමග පුංචි කාලෙ ඉඳලා මම ආසාවෙන් ප්‍රගුණ කරගෙන ආපු නර්තන කලාව මගෙන් ඈත් වුණා.

මවගේ සහයෝගය…

මම පවුලෙ වැඩිමලා. මට නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් තමයි ඉන්නෙ. දැනට ඒ අය ඉන්නෙ පිටරට. කුඩා කාලෙම අපිට පිය සෙනෙහස අහිමි වෙනවා. එතන ඉඳල අම්මා තමයි හැමදේකටම හිටියෙ. ඇයත් මාධ්‍ය ආයතනයක සේවය කරන නිසා කලාව ගැන හොඳ දැනුමක් අවබෝධයක් තියෙනවා. ඒ තුළ මම ආසාවෙන් යන ගමන වළක්වන්න අම්මා කිසිම වෙලාවක උත්සාහ කළේ නෑ.

image 230

කුඩා වයසෙදීම විවාහයට…

ඔහු මගේ මවගෙ පාර්ශ්වයෙ ඥාතියෙක්. නමින් අර්ජුන සේනානායක. විශේෂම දේ වෙන්නෙ ඔහුත් නිරූපණ ක්‍ෂේත්‍රය නියෝජනය කරන කෙනෙක් වීම. කොහොම හරි 2000 වසරෙදී අපි විවාහ වුණා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 19 යි.

එකම වේදිකාවේ ජයග්‍රහණ…

ඇත්තටම විවාහයෙන් පස්සෙ තමයි මට ක්‍ෂේත්‍රයේ තව තවත් ජයග්‍රහණ ලබමින් ඉදිරියට එන්න හැකියාව ලැබුණෙ. ඒ සඳහා අර්ජුනගෙන් ලැබුණ සහයෝගය කියල නිමකරන්න බෑ. ඔහු පුදුම විදියට මාව දිරිමත් කරන සහයෝගය ලබාදෙන සැමියෙක්. 2002 වසරෙ ඔහු මිස්ටර් ශ්‍රී ලංකා ලෙසත් මම බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ් තරගයත් ජයග්‍රහණයක් කළා එකම අවුරුද්දෙ එකම වේදිකාවෙ. ඒ වෙනකොට අපේ ලොකු දුව ලැබිලා ඇයට අවුරුද්දකුත් ගත වෙලා.

image 236

සමාජයේ කතාබහට…

මොඩ්ල් කෙනෙක් විදියට මම කවදාවත් මගේ විවාහය කල්දාන්න දරුවෙක් හදන එක ප්‍රමාද කරන්න සැලසුම් කළේ නෑ. වෘත්තීය ජීවිතෙත් එක්ක මගේ පෞද්ගලික ජීවිතේ සියලු උවමනා එපාකම් මම බැලන්ස් එකේ කරගෙන ගියා. හැමදේම සතුටින් සිනහාවෙන් පිළි අරගෙන පොඩි වයසකදී වුණත් කිසිම දෙයක් කරදරයක් වදයක් විදියට සලකන්න මම පුරුදු වුණේ නෑ. ඒක තමයි මගේ ජයග්‍රහණයේ රහස. අවුරුදු 19 දී විවාහ වෙලා 20 දී අම්මා කෙනෙක් වුණ එක ගැන අද මට තියෙන්නේ ලොකු සතුටක්. මේ වෙද්දි මගේ දුවත් නිරූපණ ක්‍ෂේත්‍රයේ වගේම රංගන ක්‍ෂේත්‍රයේත් සාර්ථක ගමනක් යනවා.

ක්‍ෂේත්‍රය තුළ ආරාධනා…

අම්මෝ ගලාගෙන එනවා වගේ එක පිට එක ලැබුණා. එත් රංගනයට යොමු වෙන්න මගේ හිතේ කැමැත්තක් ඇති වුණේ නැති නිසා මට ලැබුණ tv කමර්ෂල් විතරක් භාර ගෙන ඊට සාධාරණය ඉටුකරන අතරෙ නිරූපණ ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනයක් ලෙස එදා සිට අද දක්වාම වැඩ කරනවා.

image 235

බිරිඳක් මවක් ගෘහණියක්…

ඔව්. ඒ හැම අවස්ථාවකටම මම සාර්ථකව මුහුණ දුන්නා. ගෙදර දොරේ වැඩ ඉවුම් පිහුම් කටයුතු වගේම සැමියගෙ දරුවන්ගෙ සියලු රාජකාරි නිසි ලෙස ඉටු කළා. මේ වෙලාවෙ මතක් කරන්නම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මගේ අම්මත් මහත්තයගෙ අම්මත් මට ලොකු සහයෝගයක් දුන්නා.

සැමියාගේ දිරිගැන්වීම්…

ඒ දේවල් තමයි මාව ශක්තිමත් ගැහැනියක් කළේ. අද වෙනකොට මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 20 ක් පහු වෙලා. එදා ඉඳලා අපි දෙන්නම මේ හැමදෙයක්ම කරන්නෙ එකටම. එයා හැම වෙලාවෙම මට කියන්නෙ මේ තරුණ කාලෙ හැමදාම තියෙන්නෙ නෑ, පුළුවන් කාලෙ අපි අපි වෙනුවෙන වගේම රටට දැයට සේවයක් කරන්න ඕනෙ කියලා.

image 233

සමාජ මෙහෙවර…

අර්ජුනත් මමත් රැකියාවල්වල නිරත වෙලා නැහැ. මේ වෙද්දි අපේ පදිංචිය කළුතර අර්ජුනගෙ මහගෙදර. එහේ සැලොන් නිලූ නමින් අපිට රූපලාවන්‍යාගාරයක් තියෙනවා. එහි හෙයා කටින් වගේම පුරුෂ පක්ෂයේ පේෂල්ස් සම්පූර්ණයෙන් කෙරෙන්නේ අර්ජුනගෙ අතින්. බ්‍රයිඩල් ඩේ‍රසින් සහ මේකප් මම කරනවා. ඊට අමතරව තලවතුගොඩ අපේම ඇකඩමියක් පවත්වාගෙන යනවා නිලූස් හයි හීල්ස් නමින්. එතෙන්දී අපි දෙන්නම එකතු වෙලා සහභාගි වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිරූපණය, කන බොන විදිය, අඳින පළඳින විදිය කාර්යාලයකට, සම්මුඛ පරීක්ෂණයකට ගියාම කතා කරන හැසිරෙන විදිය වගේ බොහෝ දේවල් කියලා දීලා ඔවුන් මේ සමාජය තුළ යහපත් පිරිසක් බවට පත්කරන්න ලොකු වෙහෙසක් දරනවා. ඒ දේවල් තමයි අද අපේ ජීවන වෘත්තීන් වෙලා තියෙන්නෙත්.

මිසිස් ඒෂියා කිරුළ…

2013 අවුරුද්දෙ තමයි මට ආසියානු විවාහක රූ රැජන කිරුළ හිමි වෙන්නෙ. මම හිතන්නෙ ලංකාවෙන්ම දෙවෙනියට තමයි ජාත්‍යන්තරව ඒ පැජන්ට් එකේදී මම ජයග්‍රහණය හිමිකර ගන්නෙ. ඒ පැජන්ට් එකේදිම අර්ජුණ බෙස්ට් සපෝර්ටින් හස්බන්ඩ් ටයිටල් එක හිමිකර ගත්තා.

image 234

අනාගත බලාපොරොත්තු…

ඇත්තටම මගෙත් සැමියා අර්ජුනගෙත් ජීවිතේම අපේ දුවලා දෙන්නා. ඒ දෙන්නව රටට වැඩ ඇති චරිත දෙකක් කරන්න තමයි අපි මේ හැමදේම කරන්නෙ. එයාලත් අපේ අඩි පාරෙ එන බව දැකීම ලොකු සතුටක්. ලොකු දුව නිම්හාරා ව්‍යාපාර කළමනාකරණය හදාරන අතරෙ මොඩල් කෙනෙක් විදියටත් රංගන ශිල්පිනියක් ලෙසත් ඒ කටයුතුවලට යොමු වෙලා ඉන්වා. පොඩි දුව තෙනුලි තවමත් අධ්‍යාපනය ලබනවා. එයා රූපලාවන්‍ය කටයුතුවලට ලොකු උනන්දුවක් වගේම දක්ෂතාවක් දක්වනවා. අපි දෙන්නගෙම හැකියාවන් එකතු කරගෙන ඒ දෙන්න මේ අංශ දෙකෙන් ඉදිරිය ජය ගනියි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නෙ. ඇත්තටම ඒක අපි දෙන්නට ලොකු සතුටක්.

image 231
image 232
image 237

ධම්මික හේවාවසම්




Leave a Reply

Your email address will not be published.