උණුසුම් පුවත්
Search
nimal punchihewa

”අපි ඡන්ද තියන්නේ තෙල් පෝලිම් ළඟට ගිහිල්ලාද?” – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

80

බොහෝ දෙනෙකු මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිය ද ඒ සඳහා සුදුසු මානසිකත්වයක රටේ ජනතාව නොමැති අතර, ජනතාව දැන් සිටින්නේ දැඩි පීඩාවකින් සහ ආවේගයකින් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

එම නිසා මහ මැතිවරණ පවත්වන්නේ ඉන්ධන, ගෑස් පෝලිම් ළඟට ගොස් ද ? යනුවෙන් ඔහු විමසා සිටිනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිත පිරිසක් ඊයේ (28) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති මැතිවරණ සංශෝධන කෙටුම්පතේ පිටපතක් උක්වහන්සේග්ලාට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“මැතිවරණ නිදහස් සහ සාධාරණ අයුරින් පැවැත්වීම සඳහාත්, සැබෑ ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සඳහාත් සකසා ඇති පනත් කෙටුම්පතේ පිටපතක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට පිළිගැන්වීමටයි අද අපි මෙහි පැමිණියේ… එම යෝජනාවලිය මේ වනවිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිඅරගෙන එය පාර්ලිමේන්තුගත කරලයි තිබෙන්නේ. දැන් එය නීතිගත කරගැනීමටයි තිබෙන්නේ. ඒ සඳහා ජනමතයක් ඇති කළ යුතුයි. එම යෝජනාවලියේ ප්‍රධාන කාරණාවක් හැටියට මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වියදම් පාලනය සඳහා නීති යෝජනා කොට තිබෙනවා…. මැතිවරණයකදී අපේක්ෂකයන් වියදම් කරන අති දැවැන්ත වියදම එහි දී පාලනය කිරීමක් සිද්ධ වෙනවා.

ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කොට තිබෙනවා. ජන්දයකින් තේරීපත් වී යන නියෝජිතයන් මහජන අපේක්ෂා වලට පටහැණිව ක්‍රියා කරනවා නම් ඒ අය නැවත කැඳවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමත් මෙහි දී සිද්ධ වෙනවා. එසේම ස්ථාවර තරුණ නියෝජනයක් ඇතුළත් කර ගැනීමත් මේ තුළින් සිද්ධ වෙනවා…..

යෝජනා අතර තවත් ප්‍රධාන යෝජනාවක් තමයි මැතිවරණ පැමිණිලි ඉතා ඉක්මනින් අසා නිවැරදි කිරීමට මැතිවරණ විනිශ්චය අධිකාරියක් ඇති කිරීමත් මේ යෝජනාවලියේ තිබෙනවා. එසේම වෛද්‍යවරුන්, හෙදියන්, ජනමාධ්‍යවේදීන්, නිරීක්ෂණ සංවිධාන වල සාමාජිකයන්, වෙළෙඳ කලාප වල සේවකයන් ඇතුළු අතවශ්‍ය සේවා වල යෙදී සිටින බොහෝ දෙනෙකුට ඡන්දය දීමේ අවස්ථාව මඟහැරී යනවා…. මෙවැනි අයට ඡන්දය දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත් මේ තුළ යෝජනා ඇතුළත්,

මැතිවරණ කොමිසම තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමටයි.

අපි හැමවිටම මැතිවරණයක් පැවැත්වීමට සූදානමිනුයි සිටින්නේ. නමුත් පවත්වන මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් විය යුතුයි. එවැනි මැතිවරණයක් පැවැත්වීමට නම් ජනතාව නිදහසේ සිටිය යුතුයි. නමුත් මේ මොහොතේ ජනතාව සිටින්නේ ඉතාමත් පීඩාවකින්, වේදනාවකින් සහ ආවේගයකින්. මිනිසුන් දැන් සිටින්නේ වැඩිපුරම තෙල් පෝලිම් සහ ගෑස් පෝලීම්වල. අපි ඡන්ද පොළවල් තියන්නේ තෙල් පෝලිම් ළඟට ගිහිල්ලාද? එම නිසා ප්‍රථමයෙන් කළ යුත්තේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න ලිහිල් කිරීමයි. ඒ සඳහා කොතරම් කාලයක් යයිද කියන්න බැහැ. ප්‍රථමයෙන් ජනතාවගේ ගින්න නිවට පසු අනිත් දේ කතා කළාට කමක් නැහැ” යනුවෙන්ද ඔහු කියා සිටියා.




Leave a Reply

Your email address will not be published.