උණුසුම් පුවත්
Search
iphone

චීන රජයේ නිලධාරීන්ට iPhone තහනම නිසා ඇපල් කොටස් අගය පහළට

131

චීන රජයේ සේවකයන්ට අමෙරිකානු නිෂ්පාදනයක් වන අයිෆෝන් භාවිත කිරීම තහනම් කර ඇති බවට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා පළව තිබෙනවා. මෙසේ පළ වූ වාර්තා වලින් පසුව ඇපල් සමාගමේ කොටස් මිල පිට පිටම දෙවැනි දිනටත් පහත වැටී තිබෙන බව වෙළෙඳ පොළ ආරංචි සඳහන් කර සිටිනවා.

චීනය යනු ඇපල් සමාගමේ තුන්වන විශාලතම වෙළඳපොළ වන අතර, පසුගිය වසරේ දී ආයතනයේ මුළු ආදායමෙන් 18% ක් චීනය හරහා ලැබී ඇත.

වෝල් ස්ට්‍රීට් ජර්නලය (WSJ) බදාදා වාර්තා කළේ බීජිං විසින් මධ්‍යම රජයේ නියෝජිතායතන නිලධාරීන්ට අයිෆෝන් කාර්යාලයට ගෙන නොඑන ලෙස හෝ වැඩ සඳහා භාවිත නොකරන ලෙසට නියෝග කර ඇති බවයි.

පසුගිය දින දෙක තුළ සමාගමේ කොටස් වෙලඳපොල තක්සේරුව 6% ට වඩා අඩු වී ඇත.

බ්ලූම්බර්ග් නිවුස් වාර්තා කරන්නේ රජය සතු සමාගම්වල සහ රජයේ පිටුබලය ලබන ආයතනවල කම්කරුවන් සදහා ද මෙම තහනම පැනවිය හැකි බවයි.

එසේම රට තුළ වෙනත් විදේශීය සන්නාම සහිත උපාංග සඳහා ද සීමා පනවා ඇත.

සමහර ආයතන වල අයිෆෝන් දැනටමත් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව පුවත්පත පවසයි.

සැප්තැම්බර් 12 වෙනිදා සිදු වීමට නියමිතව තිබූ iPhone 15 එළිදැක්වීමට පෙර මෙම වාර්තා පැමිණ තිබේ.
ඇපල් සමාගමට ලොව ඉහළම කොටස් වෙළෙඳපොළ තක්සේරුව ඇති අතර එය ඩොලර් ට්‍රිලියන 2.8කට ආසන්න වේ.

Apple කොටස් පහත වැටීමට අමතරව, එම සමාගමේ ඇතැම් සැපයුම්කරුවන්ගේ කොටස් වලටද පහර වැදී ඇත.

එනම් ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් චිප් සැපයුම්කරු වන Qualcomm බ්‍රහස්පතින්දා 7% ට වඩා පහත වැටුණු අතර දකුණු කොරියාවේ SK Hynix හි කොටස් සිකුරාදා 4% කින් පමණ අඩු විය.

තාක්‍ෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර ඇති ආතතීන් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර දෙපාර්ශවයම සීමාවන් පනවා ඇත.

මේ වසරේ, වොෂින්ටනය විසින් එහි මිත්‍ර රටවල් වන ජපානය සහ නෙදර්ලන්තය සමඟ එක්ව , රට තුළ චීනයේ චිප් තාක්ෂණය භාවිතය සීමා කළේය.

(බීබීසී බිස්නස් නිවුස් ඇසුරිනි)