බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගැම්බියාවේ ළමුන් 66 දෙනකුට මරු කැඳවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චෝදනා කර ඇති ඉන්දීය බෙහෙත් සමාගමක් විසින් නිපදවන ලද කැස්ස සඳහා නිර්දේශ කරන සිරප් (පැණිය) වර්ග හතරක් පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉන්දීය රජය විසින් නිල වශයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝග කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගැම්බියාවේ ළමුන් 66 දෙනකුගේ ජීවිත අහිමිවීම් වලට අදාළ සිරප් වර්ග හතරෙහි අඩංගුව ඇති විෂ රසායන ද්‍රව්‍ය දෙකක් ඍජුවම වගකිව යුතු බවට ඒ පිළිබඳව සිදු කරන ලද විමර්ශනයකින් පසු තහවුරු කර තිබූ අතර මේ හේතුවෙන් අදාළ සිරප් වර්ග භාවිතය තහනම් කිරීමට එම සංවිධානය විසින් පියවර ගෙන තිබේ.
මෙතෙක් බෙදා හැර ඇති මෙම සිරප් වර්ග හතරෙහි අදාළ විෂ රසායන ද්‍රව්‍ය අඩංගු සිරප් කාණ්ඩ වලට අයත් තොග නැවත ඉන්දියාවට ගෙන්වා ගන්නා ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම සිරප් වර්ග නිපදවූ ඉන්දියාවේ මේඩ්න් ෆාමසියුටිකල්ස් සමාගම වෙත දැනුම් දී තිබිණි.
මෙසේ මිනිස් සිරුරට අහිතකර විෂ රසායනයන් වන ‘ඩයිඑතලින් ග්ලයිකෝල්’ හා ‘එතිලින් ග්ලයිකෝල්’ ඉතා ඉහළ මට්ටමින් අඩංගුව තිබූ ‘ප්‍රොමෙතසින් ඕරල් සොලියුෂන්’ ‘කොෆෙක්ස්මලින් බේබි සිරප්’, මැකොෆ් බේබි සිරප්’ හා ‘මැග්රිප් එන් කෝල්ඩ් සිරප්’ යන සිරප් වර්ග විෂ වීමෙන් ගැම්බියාවේ ළමුන් 66 දෙනකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම ළමුන් මිය ගොස් ඇත්තේ වකුගඩු ආසාදනයකට ලක් වීමෙන් බව පරීක්ෂණ වල දී තහවුරු වී තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ
Source – Divaina