උණුසුම් පුවත්
Search
dilan

”ප්‍රභූ පංතියේ කුමන්ත්‍රණයකින් ‘අරගලය’ ගෙදර යැව්වා” – ඩිලාන්ගෙන් චෝදනා

66

අරගලය තුළ ද ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බවත් රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්‍ෂ ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද (11) පැවසුවා.

එම ප්‍රභූ පංතිය විවිධ ආකාරයෙන් ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව කී ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිඳු දිනක නොදැක්ක දේශපාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව ද සඳහන් කර සිටියා.

හදිසි නීතිය යොදා ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති සමාජ මාධ්‍ය ජාලා මර්දනය කරමින් ආණ්ඩුවට විරුද්ධ බලවේග මර්දනය කරමින් සිටින බවත් මර්දනයේ දෙවැනි පියවර ලෙස මුද්‍රිත මාධ්‍ය ඇතුළු සෙසු මාධ්‍යයත් මර්දනය කරන බවත් ඔහු කියා සිටියා.

මැයි මස 9 වැනිදා මහින්ද රාජපක්‍ෂ ද, ජූනි මස 9 වැනිදා බැසිල් රාජපක්‍ෂ ද, ජූලි මස 9 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ ද, අගෝස්තු මස 9 වැනිදා අරගලය ද, ගෙදර යෑම අපේ රටේ පසුගිය මාස හතරේ දේශපාලන ක්‍රියාවලියේ සාරාංශය බව කී ඩිලාන් පෙරේරා පැවසුවේ මැයි 9 වැනිදා පෙරවරු 9.00 ට මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉල්ලා අස්වූයේ නම් එදින වූ ලේ වැගිරීම නොවෙන්නත්, බැසිල් රාජපක්‍ෂ ජූනි 9 වැනිදා පෙර ඉල්ලා අස් වූයේ නම් ගෝඨාභය රාජපක්‍ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අගමැතිවරයෙක් එක්ක අරගලය ඉල්ලූ සර්ව පාක්‍ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව තිබුණු බවත්ය.

ගෝඨාභය රාජපක්‍ෂ ජූලි 9 වැනිදා වන තෙක් නොසිට රනිල් වික්‍රමසිංහ වෙනුවට සියලු දෙනා ඉල්ලූ අගමැතිවරයෙක් පත්කර සර්ව පාක්‍ෂික ආණ්ඩුව හැදුවේ නම් ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙක් තවමත් රට පාලනය කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතිඥා වසන්ත යාපා බණ්ඩාර සහ වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් සභාගි වී සිටියා.

යොහාන් භාසුර

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.