උණුසුම් පුවත්
Search
earthqueck

ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් 160කට අධික පිරිසකට ජීවිත අහිමි වෙයි

176

ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපතක් වන ජාවා දූපතේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 162කට අධික පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාර රිද්වාන් කමිල් පවසයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත වලට අනුව බටහිර ජාවා හි සියන්ජුර් නගරයට කිලෝමීටර් 10ක් (සැතපුම් හයක්) නුදුරින් මෙම රිච්ටර් මාපක 5.6ක භූමිකම්පාව ඇති විය.

විශාල පිරිසක් රෝහලගත කර ඇතැයි ද තවත් පිරිසක් පිටතින් ප්‍රතිකාර කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කඩා වැටුණු ගොඩනැගිලි යට තවමත් සිර වී ඇතැයි සිතිය හැකි පිරිස් බේරා ගැනීමට සහනසේවා වෙහෙසෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ජනාකීර්ණ හා නායයෑම්වලට ගොදුරු වන අතර දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස බොහෝ ප්‍රදේශ වල සුන්බුන් බවට පත්ව ඇත.

නිශ්චිත මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් පරස්පර වාර්තා පවතින අතර, සෙවීම් සහ මුදාගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව සිදුවන බැවින් නිශ්චිත සංඛ්‍යාවක් ලබා ගැනීම දුෂ්කර බවද සඳහන් වේ.

මීට පෙර ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය (BNPB) කියා සිටියේ දැනට පවතින නවතම දත්ත වලට අනුව අවම වශයෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් ඇති බවයි.

ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කමිල් මහතා පැවසුවේ 13,000 කට වැඩි පිරිසක් ආපදාවෙන් අවතැන් වී ඇති බවයි.

බටහිර ජාවා ආණ්ඩුකාරවරයා මීට පෙර ප්‍රකාශ කළේ පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, නිවාස 2,200 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවත් BNPB ප්‍රකාශ කර ඇති බවයි.

කමිල් මහතා පැවසුවේ, එම ස්ථානයේ තවමත් “බොහෝ මිනිසුන්” සිරවී සිටින බැවින් තුවාල හා මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇති බවයි.