අපේ පවුලේ තුන්දෙනයි. නංගියි මමයි අතර වයස පරතරය අවුරුදු 6ක්. මල්ලි අපි දෙන්නට වැඩිය ගොඩක් බාලයි. ඒ නිසා නංගියි මායි තමයි එකටම හිටියේ. පොඩි කාලේ නංගි ටිකක් සැරයි. කරන තරමක් දඟ වැඩමයි කළේ.” වත්සලා කතාව ආරම්භ කළේ එහෙමයි. බුවිනි ඒ මතක සිහි කළේ හිනැහෙමින්. අක්කා වූටි කාලේ හරි අහිංසකයි. ගොඩක් සංවේදියි. පොඩ්ඩ ඇත්නම් ඇස්වල කඳුළු පුරව ගන්නවා. හැබැයි මම වසයි. මට ඕන දේ හොඳින් හරි නරකින් හරි ගන්නවා.

ඒ හින්දම ඒ කාලේ අපි අතර රණ්ඩු අඩුවක් නැහැ. එහෙම සමහර රණ්ඩු කෙළවර වෙන්නෙ අක්ක නගෝට දඬුවම් ලැබිලා. අම්මා තාත්තාගෙන් වැඩිපුරම දඬුවම් ලැබුවේ අක්කද? නංගිද? අපි බුවිනිගෙන් ඇහුවා. චූටිම කාලේ නම් කවුරුත් මට දඬුවම් දෙන්නෙ නැහැ. වැරැද්ද කළේ මම වුණත් අක්කට තමයි දඬුවම් ලැබෙන්නෙ. හැබැයි ටික ටික ලොකු වෙද්දි අක්කා සේරටම කලින් ඇස්වල කඳුළු පුරවගන්න නිසා මට දඬුවම් ලැබුණු වෙලාවලුත් තිබුණා.

එහෙම රණ්ඩු වුණත් දෙන්නා හරි ඉක්මනට ආයේ යාළු වෙන බවත් වත්සලා කිව්වා. ඒ වගේම අක්කා ඉස්කෝලෙ ගියෙ නැති දවසට තමන් අඬ අඬා ඉස්කෝලෙ ගිය හැටි බුවිනි මතක් කළේ සිනාසෙමින්. ඒ කාලේ අක්කා ඉස්කෝලෙ ගියේ මට කලින්. එයාව ලෑස්ති කරලා ඉස්කෝලෙ පිටත් කළාට පස්සේ තමයි අම්මා මාව ඇහැරවන්නේ. ඒ දවස්වල මාව ඉස්කොලෙ ගෙනියන්නේ තාත්තා. ඉතින් මම නැඟිටිද්දි අක්කා ගෙදර හිටියොත් මමත් එදාට ඉස්කෝලෙ යන්නෙ නැහැ. සමහර දවස්වලට මම නැඟිටිද්දි අක්කා පේන්න නැහැ.

ඒත් මම ලෑස්ති වෙලා වාහනේ ගේට් එකෙන් එළියට යද්දිම අක්කා කොහේ හරි ඉඳන් මට අත වනනවා. ඉතින් මම එදාට අඬ අඬා තමයි ඉස්කෝලෙ යන්නේ. අක්කා ගෙදර ඉන්නවා නම් මටත් ගෙදර ඉන්නෝනි. මේ අක්ක-නගෝ ගෙන් ඉස්සෙල්ලම රංගනයට එකතු වෙන්නෙ වත්සලා. ඒ ගැන මතක අවදි කරද්දි බුවිනි ඒ ගැනත් හරි අපූරු කතාවක් අපිට කිව්වා. මේක අම්මා කියපු කතාවක්. අක්කා චූටි කාලේ ඉඳන් කලාවට හරිම කැමැතිලු.

අක්කා නිසා තමයි මටත් රඟපෑමට ආසාවක් ඇතිවුණේ. ඒ වගේම අක්කා නිසා මගේ ගමන ගොඩක් පහසු වුණා” බුවිනි එහෙම කිව්වේ අක්කා ගැන ආදරෙන්. වත්සලා සහ බුවිනි රූපයෙන් එක සමානයි වගේම ඔවුන් දෙන්නගේ කටහඬත් ගොඩක් සමානයි. ඒ හින්දා සමහර වෙලාවට රසවත් සිදුවීම්වලට මුහුණ දෙන්න වුණු බවත් වත්සලා කිව්වෙ සිනාසෙමින්.
