උණුසුම් පුවත්
Search
nadeesha dilhani lekamge

වසර 17කට පසු ශ්‍රී ලංකාව රිදියෙන් බැබලවූ දිල්හානි

190

වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ (3) සමත් වූවාය. චීනයේ ‘හංජෝ’ නුවර දී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වට තරග වැදුණු නදීෂා දිල්හානි මීටර 61.57කට මෙතෙක් ඉසව්වේ සිය හොඳම දක්ෂතාව දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට ඒ අනුව ඇය ඊයේ පස්වරුවේ දී සමත් වූවාය. මෙහි රන් පදක්කම ඉන්දීය ක්‍රීඩිකා අනුරානි මීටර 62.92කට දිනා ගත් අතර ඒ ඇය ඉසව්වේ මෙතෙක් හොඳම පෞද්ගලික දක්ෂතාව දක්වමිනි.

ඊයේ නදීෂා දිල්හානි ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා වාර්තා කීපයක්ම බිඳ දමමින් මෙම රිදී පදක්කම දිනා ගැනීම කැපී පෙනුණි. ඇය සතුව මෙතෙක් පැවැති හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා පැරණි වාර්තාව (මීටර 60.93) ඇය අතින්ම මෙහිදී බිඳ වැටීම කැපී පෙනුණි. 1951 දී ආරම්භ වූ ආසියනු ක්‍රීඩා උළෙලක දී විසි කිරීමේ ඉසව්වක ශ්‍රී ලාංකිකයෙකු දිනා ගත් පළමු පදක්කම බවටත් එය පත් වේ.

May be an image of text that says 'Results Rank Name 1 ANNU RANI Result 2 62.92 3 SB ..*******..* HATARABAGE LEKAMGE LYU Î 61.57 4 PB SAITO M 61.29 5 LIU S 61.10 6 TAKEMOTO s 57.62 7 CHU PH 55.39 8 WICHAIDIT J 54.93 9 LIHJ HJ 53.78 10 GIM GA 51.54 11 49.28 MUHAMOVA 47.73'

1962 (ජකර්තා) ආසියානු ක්‍රීඩා උළෙලේ දී තාගලිංගම් එදිරිවීරසිංහම් උස පැනීම (පිරිමි) ඉසව්වෙන් හිමි කර ගත් රිදී පදක්කමෙන් පසුව ශ්‍රී ලාංකිකයෙකු පිටියේ ඉසව්වක දී දිනා ගත් පළමු පදක්කම බවටත් එය පත් විය.

36 හැවිදි යුද හමුදාවේ සේවය කරන නදීෂා 2023 ජූලි මාසයේ තායිලන්තයේ දී පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී එතෙක් ඉසව්වේ පැවැති ශ්‍රී ලංකා වාර්තාව ද අභිබවා යමින් මීටර 60.93කට ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් විය.

නදීෂා ඇහැළියගොඩ ඇරෑපොළ ශ්‍රී මහින්ද මහ විදුහලේ ආදි ශිෂ්‍යයාවකි. ඇගේ පුහුණුකරු වන්නේ හිටපු හෙල්ල විසිකිරීමේ ජාතික ශූරයකු වූ ප්‍රදීප් නිෂාන්ත මහතාය. ‘බුඩාපේස්ට්’ 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ඇගේ දක්ෂතා මීටර් 55.89 කට සීමා වූවාය. මේ දක්වා ජාත්‍යන්තර තරගාවලි රැසකටම තරග වැදුණ ක්‍රීඩිකාවක් ලෙස ඇය 2019 ‘කත්මණ්ඩු’ සාෆ් ක්‍රීඩා රන් පදක්කම (මීටර් 55.02) 2017 ‘බහුබනේෂ්වර්’ ආසියානු ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කමද (58.11) දිනා ඇත. 2018 ‘ගෝල්ඩ් කෝස්ට්’ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඇය මීටර් 56.02 කට 5 වැනි තැන ලබා තිබේ. ඊයේ පැවැති හෙල්ල විසි කිරීම (කාන්තා) ඉස්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ චීන ක්‍රීඩිකා හුයි හුයි ලියු (මීටර් 61.29) විසිනි.

May be an image of 1 person and text

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න විනාඩි 2 තත්පර 5.48 කට තෙවැනි මූලික තරගයේ දෙවැනි තැනට පත්වෙමින් අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.55ට පැවැත්වෙන මීටර 800 (කාන්තා) අවසන් තරගයට ඇතුළත් වූවාය.ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගේ එම ඉසව්වේ ඊයේ මූලික වටයේ දක්ෂතා විනාඩි 2 තත්පර 07.17කට සීමා වීමෙන් කෙළින්ම නිර්දේශ ලබා ගැනීමට අපොහොසත් වුවත් වේගය මත ඇයත් අද පැවැත්වෙන මීටර 800 (කාන්තා) ඉසව්වේ අවසන් තරගයට ප්‍රවේශ වූවාය.

ඒ අනුව අද ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකුම තරග වදින මෙම ඉසව්වෙන් ලංකාවට පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් හිමිව තිබුණ. මුලික වටයේ තරග ප්‍රතිඵලයන් විශ්ලේෂණය කිරිමේ දී තරුෂි කරුණාරත්න ඒ සඳහා වඩාත්ම විශ්වාසය තහවුරු කර ඇත්තේ දෙවැනියට හොඳම නිමි කාලය වාර්තා කිරිමේනි.ඒ අනුව වේගය සැසඳීමේ දී ගයන්තිකා අබේරත්න පසුවන්නේ හයවැනි ස්ථානයේය. තරුෂි කරුණාරත්න තවමත් 18 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියකි. වලල ඒ රත්නායක මැදි විදුහලේ ඉගෙනුම ලබන තරුෂි වඩාත්ම මෑත කාලයේ අවධානය දිනා ගත්තේ පසුගිය ජුලි මාසයේ තායිලන්තයේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී මීටර 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම නව වාර්තාවක් සමග ජය ගැනීමට (විනාඩි 2 තත්පර 00.66) සමත් වීමෙනි.

May be an image of 6 people and text

ශ්‍රී ලංකාවට පෙරේදා (2) මංතීරු නීතිය උල්ලංඝනය කිරීමෙන් අහිමි වුණු රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මීටර 4×400 (මිශ්‍ර) සහය දිවීමේ කණ්ඩායමේ ද ඇය ක්‍රීඩිකාවක් වූවාය.ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මලල ක්‍රීඩා රන් පදක්කම් 10ක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් 27ක් දිනා ඇතත් මීටර 800 (කාන්තා) ඉසව්වෙන් මෙතෙක් කිසිදු පදක්කමක් දිනා නැත.මේ අතර අද පැවැත්වෙන මීටර 4×400 (පිරිමි) සහය දිවීමේ අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3 තත්පර 06.60ක දක්ෂතාවක් ඊයේ පැවැති මූලික තරගයේදී ප්‍රදර්ශනය කරමින් සුදුසුකම් ලැබීය. එහිදීත් ශ්‍රී ලංකාවට යම් පදක්කමක් කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගී තිබේ. මූලික වටයේ කණ්ඩායම් දක්ෂතා සැසඳීමේ දී ශ්‍රී ලංකාව අද වේගය අතින් සිව්වැනි තැන පසු වේ.

දිනුක දේශාන්, කෞෂික කේෂාන් පබසර, රාජිත රාජකරුණා හා පසිඳු කොඩිකාර යන ක්‍රීඩකයන් ඊයේ තරග වැදුණු ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් විය.කෙසේ වුවත් 2023 ආසියානු ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව මම ඉසව්වෙන් විශිෂ්ට දක්ෂතා පළ කරමින් නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනුවේ විනාඩි 3 තත්පර 01.56කටය. ඊයේ දිනය නිමාවේදී දිල්හානිගේ රිදී පදක්කමත් සමඟ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 27 වැනි ස්ථානයට පත්ව තිබුණි. ඒ පෙර දිනාගත් ක්‍රිකට් (කාන්තා) රිදී පදක්කමත් සමගිනි.

නාමල් පතිරගේ