උණුසුම් පුවත්
Search

හෙට සිට කරාපිටිය රෝහලට රෝගීන් බාරගැනීම සීමා කරයි

225

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීම ගැටලුවක් වී ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට හෙට (23) සිට රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහලේ කාර්ය මණ්ඩලය පැමිණීම ඉතාමත් අවම මට්ටමකට පත්ව ඇති බවයි.

අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් නොමැති වීමත් සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට පමණක් ඉන්ධන ලබා දී රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යා නොහැකි බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ හේතුවෙන් හෙට සිට රෝහලේ රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇති බවට අදාල අංශ දැනුම්වත් කළ බව ද හෙතෙම පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් කාර්ය භාර වෛද්‍ය නිලධාරීට ලිඛිතව දැනුම් දී ඇත්තේ පවතින ඉන්ධන අර්බුදය යටතේ කාර්ය මණ්ඩල පැමිණීම අවම වී ඇති බැවින් සඳුදා උදෑසන 8.00න් පසු හදිසි හා අත්‍යාවශ්‍ය ප්‍රතිකාර කටයුතු අවශ්‍ය රෝගීන් හැර සාමාන්‍ය රෝගීන් ඇතුළත් කිරීම සීමා කරන ලෙසයි.

මේ සම්බන්ධව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපත් සහිතව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට ද ලිපියක් යවා තිබෙනවා.

එම ලිපිය මගින් රෝහල් අධ්‍යක්ෂවරයා රෝහල් සත්කාරක සේවාව හදිසි සහ ප්‍රමුඛ සේවාවක් ලෙස සළකා රෝහලේ සේවකයන්ගේ ප්‍රවාහන ගැටලු විසඳා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩල වාහන සඳහා ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛත්ව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලා ඇත.

පවතින අර්බුදය හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය සේවයට පැමිණීම අවම වෙමින් පවතින බැවින් රෝහලට ඇතුළත් කරනු ලබන රෝගීන්ට ප්‍රතිකාර සහ උපස්ථාන කටයුතු සිදුකිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මන්ඩලයක් නොමැතිවීමේ ගැටලුවක් උද්ගත වී ඇති බවද අධ්‍යක්ෂවරයා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

සිරංගිකා ලොකුකරවිට

Source – Lanakadeepa




Leave a Reply

Your email address will not be published.