ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙමෝදර ආරුක්කු නවය පාලම ආසන්නයේ මධුරගම කොටසේ ෆයිනස් වගා රක්ෂිතයට කිසියම් පුද්ගලයෙක් ගිනි තබා තිබේ.
මේ හේතුවෙන් රක්ෂිතයේ විශාල කොටසක් අද (23) උදෑසන වනවිටත් ගිනි ගනිමින් පැවති අතර, ආරැක්කු නවය ප්‍රදේශයට පැතිරෙමින් පැවති ගින්න, බදුල්ල එළදළුව යුද හමුදා කඳවුරේ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් පාලනය කර ඇත.
නමුත් ගින්න ඇල්ල පොලීසිය ආශ්‍රිතව ඇති රක්ෂිතය වෙත මේ වන විට පැතිරෙමින් පවතින බව වාර්තා වේ.
ගින්න පාලනයට යුද හමුදා නිලධාරීන්, පොලීසිය, ආපදා කළමනාකරණ ඒකකය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එක්ව මේ වනවිටත් කටයුතු කරමින් සිටී.
ප්‍රදේශය පුරා පවතින අධික වියළි ස්වභාවය හා තද සුළං හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු වී ඇත.
මේ වනවිටත් රක්ෂිතයේ ගස්වලට සහ සත්වයින්ට විශාල ලෙස හානි සිදුව තිබේ.
ගිනි තැබීමට සම්බන්ධ පුද්ගලයින් සොයා ඇල්ල පොලීසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.