පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවයි.
එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40%ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවයි.
පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.
වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය 51% ක් පමණ වෙයි.
දේශීය සනීපාරක්ෂක තුවා වල මිල ගණන් 90%කින් සහ ආනයනික නිෂ්පාදන වල මිල ගණන් 30%කින් පමණ ඉහළ නංවා තිබේ.
ඊට එක්වූ ප්‍රදේශයේ මව්වරුන් පැවසුවේ සනීපාරක්ෂක තුවා මිල ඉහළයෑම හමුවේ තම දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවය.
මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහොත් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු පැනනගින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
සිසුවියන් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,
“ඉස්සර 150ට 200ට තිබුණු පැකට් එක දැන් රුපියල් 500ත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එච්චර ගණන් ගියපු ඒවා අපිට ගන්න විදියකුත් නෑ. සමහර දවස්වලට අපි ගෙදර නතරවෙලා ඉන්නවා. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ඒ අපහසුතාවයෙන් ඉන්න බැරි නිසා.”
වෛද්‍ය දිල්රුක්ෂි සායක්කාර,
“පිරිසිදුකම ගැන කාන්තාවන්ගේ ඒ කාලය තුළදී නොසැළකිල්ලක් තිබුණොත් විෂබීජ නිසා එයාගේ ප්‍රජනන පද්ධතියට දීර්ඝකාලීන හානි සිද්ධවෙන්න පුළුවන්. “
ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක උදේනි විතානගේ,
“එක දවසක් දෙකක් නෙවෙයි සාමාන්‍යයෙන් දින 4ක් 5 ක් වගේ පාසල් පැමිණීමේ අඩුවක් දකින්න ලැබෙනවා. දෛනික ආහාරවේලවත් සපුරාගන්න බැරි දැරිවියන්. මේ සියලු කරදර මැඩගෙන පාසලට එන්න නම් සහනයක් ලබාදීම තමයි රජයක් හැටියට කළයුත්තේ”
මව්වරුන්,
“මම අනන්ත අප්‍රමාණ වෙලාවට රෙදිකෑලි ළමයට හදලා දෙනවා, ඒක මාරුකරගන්නත් අමාරුයි. රජරට මිනිස්සු කියන්නේ ගොවිතැනෙන් ජීවත්වෙන මිනිස්සු අධ්‍යාපනයෙන් තමයි අපේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම තැන. ජනාධිපතිතුමනි ඔබට වැඳලා කියන්නම්. තේරෙන්න ඕන කාන්තාවගේ දුක.”
Source – Derana