උණුසුම් පුවත්
Search
DEAD

හඳුනා නොගත් මළසිරුරු 28ක් කළුබෝවිල රෝහලේ

53

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළසිරුරු 28ක් වසරකට ආසන්න කාලයක සිට තැන්පත් කර තිබීමෙන් එහි දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වනවා.

මෙම රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතාගාර 36 ඇතත් ඉන් හයක් සති 02ක පමණ සිට අළුත්වැඩියා නොකිරීමෙන් භාවිතයට නොගැනීම නිසා ශීතාගාර තිහකින් දෛනික සේවා සැපයීමට සිදු සිදුව ඇති බව ද සඳහන්.

ඉන් තවත් ශීතාගාර 02ක වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරෙන ශරීර අවයව කොටස් තැන්පත් කර තැබීමට සිදු ව ඇති බැවින් ඉතිරිව ඇත්තේ ශීතාගාර 28 පමණක් වන අතර ඒවායේ හඳුනා නොගත් මලසිරුරු මෙසේ තැන්පත් කර තැබීමෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසනවා.

මෙහිදී කෝවිඩ් ආසාදිතව මියයන පුද්ගල මළ සිරුරු මෘත ශරීරාගාරයට පැමිණීමේ දී ඒවා තැන්පත් කිරීමට පහසුකම් සැලසිය යුතු නිසා ඇතැම් අවස්ථා වල දී හඳුනා නොගත් මළසිරුරු දෙක තුනක් එක ශීතාගාරයක බහා තැබීමට සිදුව ඇතැයි පැවසේ.

මෙවන් තත්ත්වයක් මත විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සඳහා අවට රෝහල් වලින් මෙම රෝහලට දෛනිකව ගෙන එන මළ සිරුරු පරීක්ෂණ අවසන් වන තෙක් ශීතාගාර වලින් බාහිරව තැබීමට සිදුව ඇති අතර යම් විටෙක මිය ගිය පුද්ගලයාගේ භාරකරුවන් දුර බැහැරක සිට පැමිණීමට ප්‍රමාද වුවහොත් එම මළ සිරුරු එළිමහනේ තැන්පත් කර තැබෙන කාල සීමාව දීර්ඝ වන බව ද පැවසේ.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වැල්ලවත්ත මිරිහාන පිළියන්දල හෝමාගම කඩුවෙල, වැලිකඩ, කොට්ටාව, ගල්කිස්ස, තලන්ගම, කොහුවල, දෙහිවල, බොරලැස්ගමුව යන පොලිස් වසම් වලින් රැගෙන ආ හඳුනානොගත් මළ සිරුරු වල පරීක්ෂණ කටයුතු අවසන් කොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නොකිරීම බවද පැවසේ .

මෙසේ රැගෙන ආ මළ සිරුරු අතර වැල්ලවත්ත පොලිස් වසමෙන් මළසිරුරු තුනක් ද , මිරිහාන ගල්කිස්ස සහ කොහුවල පොලිස් වසම් වලින් මළ සිරුරු දෙක බැගින් ද සෙසු පොලිස් වසම් වලින් එක් මළසිරුර බැගින් මෙහි තැන්පත් කර තිබෙන අතර වැලිකඩ පොලිස් වසමෙන් රැගෙන ආ මළ සිරුර 2021 සැප්තැම්බර් මාසයේ සිට මෙහි තැන්පත් කර තිබේ.

එබැවින් අදාළ පොලිස් වසම් වල නිලධාරීන් හැකි ඉක්මනින් හඳුනා නොගත් මළ සිරුරු වල පරීක්ෂණ කටයුතු අවසන් කොට මෙම මළ සිරුරු මෘත ශරීරාගාරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මේ තත්ත්වය තීව්‍ර වන බව ද එම ආරංචි මාර්ග කියා සිටිනවා.

මේ පිළිබඳව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු මෙසේ කීය.

මේ වන වන විට හඳුනා නොගත් මළ සිරුරු නිසා අපේ රාජකාරි වලට බාධා එල්ල වෙලා තියෙනවා. එම පරීක්ෂණ ඉක්මනින් සිදු කොට ඒවා නිදහස් කරන ලෙසට සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුටම ලිඛිතව දැන්වීමට ඉදිරියේදී පියවර ගන්නවා.

මේ නිසා දෛනිකව රැගෙන එන මළ සිරුරු තැන්පත් කිරීමට බාධා තිබෙනවා . ඒක ඇත්ත. මේ දිනවල කොවිඩ් මරණත් එන නිසා ශීතාගාර සූදානමින් තිබිය යුතුයි. මෙම හඳුනා නොගත් මළ සිරුරු ඉතා ඉක්මනින් ඉවත් වන්නේ නම් අපේ රාජකාරි වලට පහසුයි.

මෘත ශරීරාගාරයේ ශීතකරණයක් අලූත්වැඩියාවට යොමුකර තිබෙනවා. එය ඉතා ඉක්මනින් සේවයේ යෙදවීමට පියවර ගන්නවා යැයි පැවසීය.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න




Leave a Reply

Your email address will not be published.