උණුසුම් පුවත්
Search
ctb

ලංගම බස් රැසක් ධාවනයෙන් ඉවතට – පාසල් බස් සේවාත් අඩපණයි

116

අමතර කොටස් හිඟ වීම නිසා ගමනාගමන මණ්ඩලයට අයත් පාසල් බස් රථ ඇතුළු බස් රථ රැසක් ධාවනයෙන් ඉවත්කර තැබීමට සිදුව ඇතැයි වාර්තා වනවා.

මේ වන විට ගොඩකවෙල ඩිපෝව මගින් ධාවනය කළ පාසල් බස් රථ 05ක් නතර කර ඇතැයි ද ඒ ආකාරයෙන් බොහෝ ඩිපෝ වල අමතර කොටස් හිඟය නිසා බස් රථ රැසක් ධාවනයෙන් ඉවත්කර ඇතැයි ද ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගොඩකවෙල ඩිපෝවේ බස් රථ පහට අවශ්‍ය එන්ජින්, ගියර් බොක්ස්වල අමතර කොටස් නොමැති නිසා එම බස් රථ ධාවනයෙන් ඉවත්කර තිබෙන බවත්, ඉන් බස් කිහිපයක එන්ජින් සහ ගියර් බොක්ස් ඇතුළු අමතර කොටස් කිහිපයක් සවිකරමින් සිටින බවත් උසස් නිලධාරියෙක් පැවසීය.

ලංගමයට එකම කාලයක ගෙනා බස් රථ රැසක මේ තත්ත්වය පවතින බවත්, අමතර කොටස් ගෙන ඒම සඳහා ආගමන විගමන පාලකවරයාගෙන් ලංගම සභාපතිවරයා ලිඛිතව ඉල්ලීම් කර තිබෙන බවත් ඔහු කීය.

බස් රථවල ටයර්, ටියුබ්, බැටරි ප්‍රශ්නය විසඳා තිබෙන බවත් අමතර කොටස් ගෙන්වා ධාවනයෙන් ඉවත් කර තිබෙන බස් රථ ද අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට කටයුතු කරන බවත් ඒ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

Source – Divaina